මහර ගිය ජේලර් වටරැක පැමිණ පිස්සු නටයි! සෙසු නිලධාරීන්ට කොරෝනා බෝ කරන්න කියලා බදාගෙන!

December 3, 2020 at 11:27 am | by emanisa.lk

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් අනතුරුව විශේෂ රාජකාරී සඳහා වටරැක බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට ගොස් සිටි ජෙලර්වරයෙකු “මහ එවුන්ට වගේ ම උඹලටත් කෝවිඩ් බෝ කරන්න ඕනේ” යැයි පවසමින් වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරි ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු බදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (01) රාත්‍රී මීගොඩ පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

එතනින් නොනැවතුණු එම ජේලර්වරයා නිලධාරී විවේකාගාරවලට ගොස් එම ඇඳන්වලද හාන්සි වී ඇති අතර, සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැලඳුම් අතට ගෙන පොඩිකර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මහර බන්ධනාගාරය තුළ බහුතරයක් රැඳවියන්ට වෛරසය ආසාදනය වී ඇති බැවින් එහි විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන් දින 14ක කාලයක් නිවාඩු ලබාදීමට බන්ධනාගාරයේ උසස් නිලධාරීන් පියවර ගෙන තිබිණි.

එලෙස රාජකාරි සඳහා ගොස් නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණි ජේලර්වරයාට ඒ බව දොරටුපාලක නිලධාරියා විසින් පැවසීමෙන් අනතුරුව උරණ වූ ජේලර්වරයා මෙලෙස හැසිරී ඇති බව දැනගන්නට ඇත.

කෝවිඩ්-19 ආසාදිත රැඳවියන් බහුතරයක් දෙනා රඳවා සිටින මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරී සඳහා ගිය නිලධාරින්ට නිවාඩු ලබා දී ඔවුන්ගේ නිවෙස්වලට යැවීමෙන් යම් පාලනයකට නතුව තිබෙන කෝවිඩ් වෛරසය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රාජකාරී සඳහා යෙදවූ නිලධාරින්ට විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන ඔවුන් නිරෝධායනයට ලක්කිරීමට මේ මොහොතේ සිට හෝ පියවර නොගතහොත් නැවතත් කෝවිඩ් පොකුරක් බිහිවීම වැළැක්වීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර නිලධාරීන්ගේ අදහසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– බිමල් ශ්‍යාමන් ජයසිංහ –

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *