මහර ගැටුමින් 6ක් මරුට! 43කට තුවාලයි! තව ම සම්පූර්ණයෙන් පාලනය කර නෑ!

November 30, 2020 at 6:58 am | by emanisa.lk

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.

මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ ය.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

ඒ අනුව පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් පහරදීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහි දී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.

කෙසේ වෙතත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.

ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමට ද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අද (30) අලුයම 3 පමණ වන තුරුත් ගින්න විශාල ලෙස පැවති බව වාර්තා වෙයි.

Ada Derana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *