මහර ගැටුමේ 11න් 8ක් ම මියගියේ වෙඩි වැදිලා! ඉතිරි තිදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා තවම නෑ!

December 24, 2020 at 7:31 am | by emanisa.lk

මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 08 දෙනකු මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් බව පශ්චාත් මරණ පරීකෂණවල දී අනාවරණය වී ඇතැයි විද්වත් කමිටුව, වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

අධිකරණ නියෝග පරිදි මහර බන්ධනාගාර කැරැල්ලේදී මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ විද්වත් කමිටුවක් සිදුකළ අතර, එයින් රැඳවියන් 04 දෙනකුට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණවල වාර්තා ඉකුත් 16 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත භාරදී තිබුණි.

එම රැඳවූවන් සිවුදෙනා මියගොස් ඇත්තේ බන්ධනාගාරයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිදුවූ මරණීය තුවාල හේතුවෙන් බව අධිකරණයට ඉදිරිපත් කළ විද්වත් කමිටු වාර්තාවේ සඳහන් වී තිබිණි.

බන්ධනාගාර කැරැල්ලේදී මියගිය අනෙක් රැඳවූවන් 07 දෙනාගෙන්, සිවු දෙනකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (23 වැනිදා) භාර දී තිබේ.

එම වාර්තාවට අනුව අදාළ රැඳවියන් 04 දෙනා මියගොස් ඇත්තේද වෙඩි වැදීමෙන් වූ බරපතළ තුවාල සහ කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් බව පංච පුද්ගල විද්වත් කමිටුව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබේ. අනෙක් රැඳවූවන් තිදෙනාට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී අධිකරණය වෙත භාරදීමට නියමිතය.

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබුණේ ගැටුමින් කිසිවෙකු වෙඩි වැදී මිය නොගිය බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස