මං ජනාධිපති වෙලා ජනාධිපති ආරක්ෂකේ විසුරුවනවා..! නිලධාරීන් 10 ගානේ ගමේ පොලිසිවලට යවනවා..! – අනුර…

January 19, 2024 at 4:46 pm | by emanisa.lk

මීටර් 20ක් දුර නොපෙනෙන මහින්ද රාජපක්ෂ රාත්‍රීයට නැව්වල නැඟී නිරීක්ෂණ චාරිකා යන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

‘ගැහැනු අපි එක මිටට’ යනුවෙන් පැවැති ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

“මේ එක්රැස්වී සිටින සහෝදරියන් කියාපාන්නේ පාලකයන් සමඟ හැප්පෙන්න විතරක් නොවෙයි, ඔවුන්ව පරාජයට පත්කරන්නත් සූදානම් බවයි. පාලකයා, මහජනයාව පීඩාවටත්, රැවටීමටත් භාජන කරනවා. අනෙක් පැත්තෙන් රාජපක්‍ෂලා පවුලත්, පවුල වටා ඉන්න වළල්ලක් පෝෂණය වන දේශපාලනය කළා. ඒකට උදාහරණ මේ හම්බන්තොට මහපොළොවේ තිබෙනවා.

මේ හම්බන්තොට, අපේ රටත් ජනතාවත් පීඩාවට පත්කරන ලද රාජපක්‍ෂලාගේ නියෝජනය අනෙක් පැත්තෙන් අතිශය පීඩාවට පත්වුණු මිනිසුන්ගේ නියෝජනයක් තිබෙනවා. මේ වසරේ තීරණාත්මක සටන ඇතිවෙන්නේ පීඩකයන්ගේ හා පීඩිතයන්ගේ කඳවුරු දෙක අතරයි. අපි මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරමු. මේ පාලකයන්ට තිබුණේ ඡන්ද කාලෙදි බඩු බෙදන දේශපාලනයක්. උපාසකම්මාට සිල් රෙද්දත්, තාත්තට අරක්කු බෝතලයත් බෙදුවා.

අලියා ලකුණ වෙනුවට අමරවීර ලකුණ ගහලා ගිනිපෙට්ටි පවා බෙදුවා. අපේ රටට අවශ්‍ය බඩු බෙදන දේශපාලනය වෙනුවට රට හදන දේශපාලනයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂින්, පිරිත් පොත්, මළ ගෙවල්වලට හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. අපේ රටේ මිනිසුන් යාචක තත්ත්වයට පත්කරලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන ‘සිටුවරු’ බවට පත්වුණා. ඊනියා දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට ‘හූ’ කියන තත්ත්වයක් ඇති වෙලා.

මේ විනාශකාරී දේශපාලනය අවසන් කරන්න හැකියාව ඔබ තුළ ගැබ්වී තිබෙනවා. කාන්තාවන්ගේ හැඟීම්බරකම, කුලුණුබරකම, යුතුකම් ඉටුකිරීමේ ගුණය ඒගොල්ලෝ තොරොම්බල් කරලා වේදිකාවේ වික්කා. මහින්ද මහත්තයා කටුනායක ගුවන් තොටුපොළ ඉඹිනකොට ‘පපුව හෝස් ගාලා පත්තු වුණා’. මේ මනුස්සයා මේ රටේ මාතෘ භූමියට මොනතරම් ආදරේද? කියලා කාන්තාවන් හිතුවා. දරුවෙක් වඩා ගත්තම “බලන්නකෝ පීතෘ සෙනෙහස උතුරනවා. මේ වගේ නායකයෙක් තමයි අපිට ඕනෑ” කියලා අපේ කාන්තාවන් හිතුවා. එක පැත්තකින් දරුවා සුරතල් කරන ගමන් අනෙක් පැත්තෙන්ඒ දරුවන්ගේ අනාගතය විනාශ කළා.

දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය කඩා වැට්ටුවා. දරුවාට රස්සාවක් නැති රටක්, ණය ගෙවාගන්න බැරි රටක් නිර්මාණය කළා. ජනතාවගේ හිතට වඩා සමීප වචනය පාවිච්චි කරල ‘අප්පච්චි’ කියන පෝස්ටර් ගැහුවා. එදා අපි රැවටුණා. අද පේනවා අප්පච්චි කෙළපු කෙළිල්ල. එයා පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නඟිනවා. කා වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් නෙවෙයි. මීටර් 20ක දුර පේන්නේ නැති එයා රෑ නිරීක්ෂණ චාරිකා යනවා.

ආණ්ඩුවේ වාර්තාවල කියනවා පාසල් යන දරුවන්ගෙන් 54%ක් පොත් ගන්න එක හෝ උපකරණ ගන්න එක නවතා තිබෙනවා. දින පහ පාසල් යැවීමේ හැකියාවක් නැතිවෙලා. හම්බන්තොට, සූරියවැව ප්‍රදේශවල අම්මලා තමන්ගේ සියලු සබඳතා අතහැර මාතර ප්‍රදේශයේ ගෙවල් කුලියට අරගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න විශාල වෙහෙසක් දරනවා. කාන්තාවන් විදෙස්ගත වෙන්නේ දරුවන්ට උගන්වන්න, ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න. අම්මා දුරස් වී දරුවන් තනිවුණු තැන්වල දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙලා නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක නොවුණු තැන්වල වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ කාන්තාව.

පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා කාන්තාවන්ගෙන් 72%ක් කුමන හෝ ලිංගික අඩන්තේට්ටමකට ලක්වෙනවා. මේ ඛේදවාචකවල අවසන් ගොදුර බවට පත්වෙලා තිබෙන්නේ කාන්තාව. ඒ නිසා සමාජය වෙනස් කරන ගමනේදී සක්‍රියව ඉදිරියට එන්න ඕනෙ ඔබ. මේ පීඩාවෙන් ගැලවෙන්න පළමුකොටම මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. කළ යුතු අවශ්‍යම දේ තමයි දේශපාලන වෙනස. දේශපාලන වෙනස සඳහා අපි බලය ගන්න ඕනෑ. අපට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි.

1948 අපට නිදහස ලැබුණා. නමුත් රට තුළ ජාතික පිබිදීමක් ඇති වුණේ නැහැ. සුද්දගෙ පාලනයෙන් මිදුණා. ඒත් සුද්දට නොදෙවැනි රටක් හැදීමේ පිබිදීමක් පාලකයන්ට තිබුණේ නැහැ. ජාතියක් ලෙස පිබිදීමක් වෙනවා වෙනුවට, මේ මාතෘ භූමිය තුළ එකම ජන කණ්ඩාමක් අතර ගැටුම් නිර්මාණය කර ගත්තා. පාලකයා ජාතියේ, ආගමේ ආරක්ෂකයා වෙනවා. ජනතාව කුළල් කාගන්නවා. අපේ සතුරා බවට දෙමළ මිනිසාත්, මුස්ලිම් මිනිසාත් පත්කර ගත්තා. අවසානයේදී උතුරත් පරාදයි දකුණත් පරාදයි. ඒ නිසාම අපි යටත්, අභිමානයක් නැති ජාතියක් බවට පත්වුණා. අපි සියලුම බෙදීම්
පැත්තක තබමු.

අපේ ගම්වල මතයක් තිබෙනවා “කන දේකට වස දාන්න හොඳ නැහැ” කියා. හැබැයි මේ රටේ සෞඛ්‍ය ඇමැතිලා බෙහෙතටත් වස දානවා. ඔබ හිතුවාද මෙහෙම පාලකයෝ ලංකාවේ අපට ලැබෙයි කියා. බෙහෙත් පෙත්තෙන් සොරකම් කරන පාලනයක්. මේ පාලකයන් පලවා හැර බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේ මජර ක්‍රමය වෙනස් කිරීමේ ආරම්භයයි. පළමුකොට අපි පුරවැසියන්ට අවශ්‍ය මූලික දේවල් සහතික කරනවා. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, අපි ලබාදෙනවා. අපි එකතු වෙලා රට හදමු. අපි හැමෝම එක අරමුණකට පොරබැදුවොත් මේ රට ගොඩනඟන්න පුළුවන්. “මුහුදට එළන මාදැල වගේ, එක වීරියට ඇදලා මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කරලා මේ රට ගොඩනඟමු.

ජනාධිපතිට දහස් ගණනක ආරක්ෂාවක් ඉන්නවා. ගමේ පොලිසියේ පොලිස් මහත්තුරු දහදෙනෙක් නැහැ. ඔය ජනාධිපතිගෙ ආරක්ෂක සේවා විසුරුවා හැරලා, ගමේ පොලිසිවලට එවනවා. ජනාධිපතිවරයා ඇතුළු චෞර වළල්ල අතේ තිබෙන මේ රටට ඔරොත්තු නොදෙන වාහන, පෙට්රල් ලීටරයට කිලෝ මීටර් තුනක් දුවන වාහන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ පාවිචචි කරන වාහනය ලක්ෂ 3,000යි. රටේ සිදුකරන ඉදිකිරීම් විනිවිදභාවයෙන් සිදුකරන බව අපි පෙන්වන්නම්. මහජනයාගේ ධනය සතයක් හෝ හොරකම් නොකරන බව ඔප්පුකොට පෙන්වන්නම්. ජනතාව, ඒ දෙන ආදර්ශයත් එක්ක වැඩ කරන්න ඉදිරියට එන්න.

මේ නපුරුම හා විනාශකාරී අත්දැකීම් අපේ ජීවිතවලට ගෙනත් දී තිබෙන්නේ. අපි මෙයින් පාඩමක් ඉගෙන ගනිමු. අම්මලා, අක්කලා, නංගිලා, දියණියන් වන ඔබට මේ සමාජය නිද්‍රාශීලීත්වයට පත්කරන්නත් පුළුවන්. මේ සමාජය කූද්දලා අවදි කරන්නත් පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *