බෞද්ධයන් අන්‍යාගම්වලට හරවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! භික්ෂූන් වහන්සේලා අවධානයෙන් සිටිය යුතුයි!- අගමැති

February 27, 2020 at 9:09 am | by emanisa.lk

සාම්ප්‍රදායික බෞද්ධ පවුල් ක්‍රමානුකූලව අන්‍යාගම්වලට හැරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ භික්ෂූන් වහන්සේලාගේ විශේෂ අවධානය යොමු වීම වැදගත් බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ 18 වැනි ජාතික මහා සම්මේලනයට කොළඹදී එක්වෙමිනි.

“මේ වෙලාව මම හිතන විධියට අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය. මේක ව්‍යාප්ත වෙන්නේ වැඩිහිටියන් අතර නොවෙයි. ළමයි අතරේ.

ඉස්සර කාලේ ළමයෙක් දුම්වැටියක් බීලා අහුවුනොත් ඉස්කෝලෙන් අස්කරන තරමේ වරදක්. අද ගංජා, කුඩු, අයිස් වගේ භයානක රසායනික මත් ද්‍රව්‍යත් පාසල් අසල විකුණනවා. කිලෝ ගණන් අහුවෙන්නේ.

මේවා ජාතියක් වශයෙන් පිරිහෙන ලක්ෂණ. අපි සියලුදෙනා එකතු වෙලා මත්ද්‍රව්‍ය උවදුරින් දරුවන් බේරා ගත්තේ නැත්නම් අපි පිරිහීමට ලක්වෙනවා.

ඒ වගේම අන්‍යාගමිකකරණය අපි නොදන්නා විදියට යම් යම් ආයතනවල යම් යම් පුද්ගලයෝ මගින් සිදුවෙමින් තිබෙනවා. බෞද්ධ පවුල්, පාරම්පරික බෞද්ධ පවුල් ක්‍රමාණුකූලව වෙනත් ආගමිවලට හැරෙමින් තිබෙනවා. අපි නොදැනුවත්ව ඒ දේ වෙන්නේ. මම දැක්කා මගුල් ගෙදරකට ගියාම ඒ අය සියලු දෙනා වෙන ආගමකට හැරිලා තියෙන හැටි. අපිට විශාල වගකීමක් තිබෙනවා. මේ සඳහා ගරුතර සංඝරත්නයේ විශේෂ අවධානය යොමු කර තමන්ගේ ගම ගැන දායකයින් ගැන සුපරික්ෂාකාරීව කටයුතු කරන්නයි ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස