බුද්ධි අංශ 13 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කියද්දි දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත කරන්නේ ඇයි! – මහින්ද ආණ්ඩුවෙන් අසයි….

May 11, 2019 at 7:29 am | by admin

එළඹෙන 13 වැනිදා දරුණු ප්‍රහාරයක්‌ එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්‌ කර තිබිය දී ලක්‌ෂ හතරක පාසල් දරුවන්ගේ අනාගතය අනාරක්‌ෂිත කිරීම සාධාරණ දැයි විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 වැනිදා) ආණ්‌ඩුවෙන් විමසා සිටියේය.

ජාතියේ දරුවන් පිළිබඳ කැක්‌කුමක්‌ ආණ්‌ඩුවට වඩා ආගමික නායකයන්ට ඇතැයි කී රාජපක්‌ෂ මහතා ආරක්‌ෂක අංශවල මෙන්ම දේශපාලන නායකයන්ගේ දරුවන් මේ දිනවල පාසල් නොයවන බව ද කීවේය.

පළමු ශ්‍රේණියේ සිට හයවැනි ශ්‍රේණිය දක්‌වා දරුවන්ගේ පන්ති ලබන සඳුදා ඇරැඹීමට සූදානම් කර ඇති අවස්‌ථාවක එදින දරුණු ප්‍රහාරයක්‌ විය හැකි බවට බුද්ධි අංශය විසින් තම ආරක්‌ෂක නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්‌ කර ඇතැයි මහින්ද රාජපක්‌ෂ මහතා කීවේය.

බුද්ධි අංශ එවැනි අනතුරු ඇඟවීමක්‌ කර තිබිය දී පාසල් දරුවන් අනාරක්‌ෂිතව පාරට ගැනීම සාධාරණ දැයි විමසූ විපක්‌ෂ නායකවරයා වඩා වැදගත් වන්නේ පාසල් විෂය නිර්දේශ නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීම ද නැතිනම් දරුවන්ගේ ආරක්‌ෂාව දැයි ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කළේය.

”අපට වෙඩි නොවදින වාහන තියෙනවා. ඒත් දරුවන් බුලට්‌ පෲෆ් නොවේ. දරුවන්ගේ ජීවිත එක්‌ක දේශපාලන සූදුව කරන්න එපා. දරුවන්ගේ ජීවිත එක්‌ක විහිළු කරන්න එපා.” යෑයි ද රාජපක්‌ෂ මහතා කීවේය.

තමන් මෙම ඉල්ලීම කරන්නේ හිටපු ජනාධිපතිවරයා හෝ විපක්‌ෂ නායකවරයා ලෙස නොව දරුවන්ට ආදරය කරන තාත්තා කෙනකු ලෙස බව ද රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්‌වෙමින් විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස