බඩු මිලයි කියලා පිටරටවල වරාය ගුවන්තොටුපළ අරින්න මට බෑ! – බන්දුල

September 18, 2020 at 11:31 pm | by emanisa.lk

මුළු ලෝකයම වරාය ගුවන් තොටුපොළ වසන විට ලංකාවේ බඩු මිල ඉහළ යන බවත්, බඩු මිල ඉහළ යනවා යැයි කියා අනෙක් රටවල්වල ගුවන් තොටුපොළ, වරාය විවෘත කිරීමට ලංකාවේ වෙළඳ ඇමතිට නොහැකි බවත් වෙළඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

රටේ බඩු මිල අඩු කිරීමට ප්‍රාතිහාර්ය විසඳුම් නොමැති බවත්, වෙළද අමාත්‍යවරයාද ලෝකයේ එක් සත්ත්වයෙක් පමණක් බවත් ඔහු මෙහිදී පැවසීය.

ඇමතිවරයා එසේ කියා සිටියේ හෝමාගම නගරයේ ඊයේ (17) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ලෝකයම මුහුණ දීල ඉන්න කොවිඩ් -19 වෛරසය නිසා ලෝක ඉතිහාසයේ නොවූ විරූ විනාශයක් වෙලා තියෙනවා. ඉන්දියාවේ එක දවසකට ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වසංගත රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. ලෝකයේ රටවල්වල වරාය වහලා. ගුවන්තොටුපොළවල් වහලා. භාණ්ඩ ගේන්න දෙන්නේ නැහැ. ඉන්දියාව ලූනු අපනයනය සම්පූර්ණයෙන්ම නවත්තලා. ඒ අතරින් මේ රෝගයට මුහුණ දීලා ඉන්න එක රටක් ලංකාව. ඒ නිසා ලංකාවට මුළු ලෝකයට ම පටහැණිව වෙනත් විකල්පෙකට යන්න බැහැ. අපිට ඒ විනාශය අනිත් රටවල්වලට තරම් තේරෙන්නෙ නැත්තෙ ජනාධිපතිතුමා ඇතුළු රජය උපක්‍රමශීලී ලෙස මේ රෝගය කළමනාකරණය කර නිසා.

ඒනිසා අපේ ජනතාව හිතනවා මුඵ ලෝකෙම ලංකාව වගේ නිරුපද්‍රිතව තියෙනව කියලා. එවැනි අවස්ථාවක භාණ්ඩ මිල පාලනය කරගන්න තියන එකම විසඳුම අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙයක් ම නිෂ්පාදනය කරන එක. විදේශ රටවලින් ආනයනය කරන භාණ්ඩ මොන හේතුව නිසාවත් ජනාධිපතිතුමා ගෙන්නන්නේ නැත්තේ අපේ රටේ ගොවියා අරක්ෂා කරගන්න ඕන නිසා.

ඒ ක්‍රමයෙන් කෙටිකාලීන වශයෙන් අර්බුදයක් තිබුණත් දිගුකාලීන වශයෙන් වාසිදායක ස්ථාවර වෙළඳ පොළකට ගමන්කරන්න පුළුවන් වෙනවා. වෙළඳ පොළේ භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ඉල්ලුම් සැපයුම් බලවේගය අනුව. මේ දිනවල පොල් නිෂ්පාදනයට අයහපත් කාලගුණය බලපාලා තියෙනවා. ඒ නිසා පොල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටිලා. ඒ අනුව වෙළඳ පොලේ මිල තරමක් ඉහළ ගිහිල්ලා.

අස්වැන්න ලැබෙන කාලය වන විට පොල් මිල නැවත පහත වැටෙනවා. නමුත් අපි ඒ වෙනුවෙන් ජනතාවට සහන මිලට පොල් ලබාදීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව ප්‍රසිද්ධ ස්ථානවල ජංගම අලෙවි රථ මගින් රුපියල් 70ක් වැනි මිලකට පොල් අලෙවි කිරීම සඳහා අද 18 දා සිට වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස