බංකොලොත් රටක් භාරගත් අපි ශක්තිමත් රටක් හැදුවා! රටේ සංවර්ධනය දරාගන්න බැරි විරුද්ධවාදීන් ආණ්ඩුවට බනිනවා! – අගමැති

June 20, 2019 at 7:56 am | by emanisa.lk

බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ අද (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදී අගමැතිවරයා මෙම අදහස් දැක්වීය.

අද ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි පවසන අයට වසර 21ක් ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන සිටිය ද ලක්ෂ 6කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව ද හෙතෙම සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.

“අපට පහර දෙන්නේ අපි ගමේ සිදු කරන සංවර්ධන කාර්යය සඳහා ඔවුන්ට පිළිතුරක් නැති නිසයි. වසර 17 ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවටත් වඩා අපි මෙවර ගමේ දියුණුව ඇති කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණු සැණින්, සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබාදීමේ කාර්යය ආරම්භ කළා.

බංකොලොත් රටක් බාර ගෙන නැවත ශක්තිමත් ආර්ථිකයක් හදන්න අපට හැකි වුණා. විරුද්ධවාදීන් හිතුවේ බෝම්බ සමග අපි නැති වෙයි කියලා. නමුත් ඕනෑම ප්‍රශ්නයකට, විපතකට මුහුණදීමට අපට ශක්තිය තිබෙනවා. ඒ නිසා ගමේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස