පොස්පේට් සමාගම ලාභ ලබන ආයතනයක් කළේ මමයි…! – පොස්පේට් සමාගම අහිමි වූ පසු විමල්ගෙන් නිවේදනයක්….

June 19, 2021 at 1:57 pm | by emanisa.lk

1974 දී ආරම්භ කළ ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේයි. ජාතියට අගන දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි පරිදි යොදාගැනීමට සැලසුම් කොට තිබූ වටිනා සම්පතකි.

2000 වසරේ දී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ත ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබුණි. ඊට හේතු වූයේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කළ ආසනයේ ම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමයි.

2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්ත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පෙට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත්, ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණා. එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවා ගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා.

ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු වුණා.

කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබුනා.

සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අපි ලබාදුන්නේ රුපියල් 10 කට. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබුණා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබුණා. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවා.

එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ”ජෛව හරිත පොස්පේට්” නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුධය සමග අවස්ථා කිහිපයකදී එය ප්‍රමාද වුණා. නමුත් මේ මස 23 වනදා අමාත්‍යාංශයේදී ”ජෛව හරිත පොස්පේට්” පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබුණා.

කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහාමකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නා. අඩුම තරමේ එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුළ පවතින ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවා. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැලසුම් කරමින් තිබුණා.

කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්ත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..!

– විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස