පොල්අතු පැල්වල දහ දුක්විඳින කෝකිලායි වැසියන්ගේ නිවාස සිහිනයට TNA ගිනිතබයි! යුද සමයේ පවා සිය ගම්බිම් අතනෑර උතුරේ සිංහල අයිතිය රැකගැනීම ඔවුන් කළ වරදයි!

May 25, 2019 at 8:02 pm | by admin

කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය දේශපාලන බලපෑමක් හේතුවෙන් නතර කර දැමීමය. විරෝධතාවට එක්ව සිටි ගම්මුන් පුවත්පත් වාර්තාකරුවන්ට කියා තිබූ පරිදි මේ ව්‍යාපෘතිය නවතා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසිනි.

කෝකිලායි ගම්මානයේ සිංහල ජනතාව වෙනුවෙන් නිවාස 62ක් ඉදිකිරීමට යෝජිතව තිබුණේ “සැමට සෙවණ” යෝජිත උදා ගම්මාන වැඩසටහන යටතේය. ඒ සඳහා රජයේ මුදල් වැය කිරීමට නියමිත විය. එහෙත් මුලතිව් දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරිය මේ වැඩසටහනට හරස් කපා තිබේ. හේතුව වශයෙන් ඇය සඳහන් කර ඇත්තේ දෙමළ ජනතාවගේ ඉඩම්වල සිංහල ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට පැමිණිලි ලැබී තිබීමය. මේ බව සඳහන් කරමින් මන්ත්‍රීවරිය තවත් පිරිසක් ද සමඟ පැමිණ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ හේතුවෙන් නිවාස ව්‍යාපෘතිය නවතා ඇති බවත් පවසන කෝකිලායි ධීවර සමිතියේ සභාපතිවරයා තමන් නිවාස ඉදිකිරීමට සූදානම් වූයේ තමන්ගේම ඉඩම්වල බවද ප්‍රකාශ කර තිබිණි. යුද්ධ කාලයට පෙර සිටම මේ ඉඩම් සඳහා තමන් වරිපනම් ගෙවා ඇති බවට සාක්ෂි තමන් සතු බවද ඔහු කියා තිබිණි. එසේ නම් මේ ව්‍යාපෘතිය නැවැත්වීමට තරම් බලයක් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරියට ලැබුණේ කෙසේදැයි වහාම විමසිය යුතුය. ගමක් ඉදිකිරීම නවතා දැමීමට තරම් හයියක් මන්ත්‍රීවරියට ලබාදුන්නේ කවුදැයි සෙවිය යුතුය.

මුලතිව් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවට අයිති දිස්ත්‍රික්කයක් මිස වෙනත් රටකට අයිති බිම් කොටසක් නොවේ. එකී ප්‍රදේශවලට ක්‍රියාත්මක ඉඩම් නීතිය වෙනත් දිස්ත්‍රික්කයක ඉඩම් නීතියෙන් වෙනස් වීමට හැකියාවක් නැත. මේ බව ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරිය නොදැන සිටීමට හේතුවක් නැත. කෝකිලායි ගම්මානයේ දශක ගණනක් තිස්සේ ධීවර රැකියාවේ නියුතුව සිටින ජනතාව රජයෙන් තමන්ට කියා නිවෙසක් ලබාගැනීමට අයිතිවාසිකමක් නැතිදැයි මේ මන්ත්‍රීවරියගෙන් විමසීමට අපි කැමැත්තෙමු. මේ අහිංසක මිනිසුන් ජීවත් වන පැල්පත් සමූහය දකින විට අපට හැඟෙන්නේ ඔවුන්ට ලැබෙන්න යන නිවාස ව්‍යාපෘතිය නවතා දැමීම යට ඇත්තේ කෲර දේශපාලන අරමුණක් පමණක් බවය. මේ ඉඩම්වල අයිතිය එහි ජීවත් වූ ජනතාවට නැති බවට වැරැදි ප්‍රචාර සිදුකොට ව්‍යාපෘතිය නවතා දමනු වෙනුවට තමන්ට ලැබුණු එම තොරතුරු පිළිබඳ ඇත්ත නැත්ත සොයා බලා වඩාත් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට අදාළ මන්ත්‍රීවරියට හොඳින්ම හැකියාව තිබිණි. එහෙත් ඒ වෙනුවට ඇය තෝරාගෙන ඇත්තේ මන්ත්‍රීවරියක වශයෙන් තමන් සතු බලතල පාවිච්චි කොට ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කිරීමය. එය ඕනෑම මෝඩයකුට කළ හැකි විචාර බුද්ධියකින් තොරව ගත හැකි ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙහිදී මන්ත්‍රීවරියගේ බලපෑමට සම්පූර්ණයෙන් යටත් වී ඇති බවක් පෙනී යයි. වගකීමක් ඇති නිලධාරියකු එසේ හැසිරිය යුතු නැත. මන්ත්‍රීවරුන් ගහන ගහන පදයට නටන්න සූදානම්ව සිටින නිලධාරීන් අතින් කවදාවත් රටට අවශ්‍ය සේවය ඉටුවන්නේ නැත. එවැනි නිලධාරීන් තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය අතැතිව සිටින පුද්ගලයන්ගේ මනදොළ සපුරා දීමට මිස තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට නොවේ. කොළඹ වුවත් මුලතිව් වුවත් මොන දිස්ත්‍රික්කයක වුවත් ඕනෑම නිලධාරියකුට එය අදාළය.

නිවාස ඉදිකිරීමට යෝජිත වූ ප්‍රදේශය දෙමළ ජනතාවගේ ඉඩම් බවට මේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි සහිතව ද යන්න පැහැදිලි නැත. ගම් බිම් නොමැතිව අසරණ වූ දෙමළ පවුල් සිටී නම් ඒ පිළිබඳව ද සොයා බලා ඔවුන්ට ඉඩම් හෝ නිවාස ලබා දිය යුතුය. ඊට කිසිවකුත් විරුද්ධ නොවනු ඇත. එහෙත් යෝජිත නිවාස ව්‍යාපෘතියක් අත්හැර දමා ජනතාව අසරණ තත්ත්වයට ඇද දැමීමට සිදුවන සේ කටයුතු කිරීම මන්ත්‍රීවරියකට තරම් නොවන බව පෙන්වා දිය යුතුය.

මේ ආකාරයට අසාධාරණ අන්දමින් කටයුතු කිරීම ජාතික සංහිඳියාව පිළිබඳ විශ්වාසයක් රට තුළ ගොඩනැංවීමට ගෙන යන වැඩපිළිවෙළට ද බාධාවකි. පසුගිය දිනවලදී රට තුළ ඇති වූ තත්ත්වයත් සමඟ ඇති වූ නොසන්සුන් වූ තත්ත්වයක් පවතින පසුබිමක මෙවැනි ක්‍රියා සිදුවීම රටේ යහපැවැත්මට කිසිසේත් රුකුලක් නොවන බව මේ මන්ත්‍රීවරියට පෙන්වා දීමට කැමැත්තෙමු. මහජන මන්ත්‍රීවරියක යනු වගකීම් පිළිබඳව සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු පුද්ගලයකු මිස ජාතිවාදී අදහස් අනුව පමණක් කටයුතු කළ යුතු අයකු නොවේ.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රට බරපතළ ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටී. කෝකිලායි වැනි සිදුවීම් එම අර්බුදය විසඳීමට නොව එය තවත් සංකීර්ණ කිරීමට හේතුවන බව ස්කන්ධරාජා මන්ත්‍රීවරියට පෙන්වා දීමට කැමැත්තෙමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස