පාස්කු බෝම්බයෙන් වැටුණු ආර්ථිකයට කොරෝනා මරු පහරක් වෙයි! ආර්ථික වර්ධනය -16%ට ඇද වැටේ….!

December 17, 2020 at 8:32 am | by emanisa.lk

මෙම වර්ෂයේ (2020) දෙවැනි කාර්තුවේ (අප්‍රේල් – ජුනි) මෙරට ආර්ථික වර්ධන වේගය (දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය) සියයට -16.3 දක්වා විශාල ලෙස පහත වැටී ඇත.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතයයි. 2020 පළමු කාර්තුවේ දී ද මෙ රට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය -1.6% ක් දක්වා පහත වැටී තිබිණි.

2020 වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථික කටයුතුවලට අදාළව නිල ලේඛන, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි නිකුත් කළද දෙවැනි කාර්තුවේ දත්ත නිකුත් කිරීම මාස 05ක පමණ කාලයක් ප්‍රමාද කරනු ලැබීය.

දෙපාර්තමේන්තුව සඳහන් කරන ලද්දේ 2020 මාර්තු මාසයේදී මෙරට ව්‍යප්තවූ කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පිළිබඳ දත්ත රැස් කිරීම ප්‍රමාද වූ බවයි. කෙසේ වෙතත් අවසානයේ පෙරේදා (15) පස්වරුවේදී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙලෙස 2020 දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සහ ඊට අදාළ දත්ත නිකුත් කර තිබිණි.

2019 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 1.1 ධන වර්ධනයක් ප්‍රදර්ශනය කර තිබුණු අතර 2020 පළමු කාර්තුවේදී එය -1.6% දක්වා පහත බැසී තිබිණි. 2019දී එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමද ඊට බලපා තිබේ. එමෙන්ම 2020 දෙවැනි කාර්තුවේදී රටේ ව්‍යාප්ත වූ වසංගතය හේතුවෙන් මාර්තු 19 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේ මුළු රටම සම්පූර්ණයෙන් වසා දමා තිබුණු අතර මැයි 26 වන දින දක්වා ප්‍රධාන කාර්මික කලාප සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක දෙක සඳහා (කොළඹ සහ ගම්පහ) පැන වූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක විය. මෙම තත්ත්වය මත දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය මෙලෙස දරුණු ලෙස කඩා වැටීමකට ලක්ව ඇත.

කෙසේ වෙතත් 2020 වර්ෂයේ තුන්වැනි කාර්තුවේ කොවිඩ් වසංගතයේ පළමු රැල්ලෙන් පසු ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය වීමත් සමාගම එම කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමස්තයක් ලෙස ගත් කල 2020 වසරේ මුල් මාස නවයෙහි දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය – 5.3%ක් (සෘණ සියයට 5.3) ලෙසින් ඇස්තමේන්තු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස