පාස්කු බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් දස දෙනා ම නිදහස්….!

January 20, 2021 at 2:36 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ්ට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ (19) නියෝග කළාය.

මෙම සිදධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නො කරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කළාය.

ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම මත සැකකරුවන් දස දෙනා නිදහස් කළ අධිකරණය සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.

ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ පුත්තලමේ පදංචි ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අයවලුන්ය.

මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝගයක් නිකුත් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 111/6 ඒ, අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘කොලොසස්’නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවකයන් 100 දෙනකු පමණ සේවය කර ඇති බවත් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලින් පසු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනය කළ වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත්, සැකකරුවන් සිම්කාඩ්පත් දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේ ය.

පසුව මෙම සිද්ධිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දී තිබුණේ ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස 04 වැනිදා ය.

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුලු ස්ථාන 8ක ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සමග එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දස දෙනා ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 22 වැනිදා අලුයම් කාලයේ දි අත්අඩංගුවට ගත් අතර වැල්ලම්පිටිය පොලීසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස