පාලකයින්ට ආණ්ඩු බලය තිබුණත් ජනතා බලය ඇත්තේ මාලිමාවටයි…! – අනුර….

June 20, 2023 at 8:13 am | by emanisa.lk

පුද්ගලයන් පසුපස ගිය කාලය අවසන් කර රටත්, ජනතාවත් හෙළා තිබෙන විනාශයෙන් බේරා ගැනීම සඳහා සියලු දෙනා එක්ව සාමුහික ප්‍රයත්නයක් දැරිය යුතු වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“අදත් අප අතරේ ජීවත් වෙමින් සිටිය යුතුවූ බොහෝ පිරිසක් අද අපට අහිමි කරලා තිබෙනවා. මේ රටේ විනාශකාරී දේශපාලනය විසින් ඒ අයව යුද්ධයකට ඇදදාලා, ආබාධිත වීම් වාගේම මිය යාම්වල ඛේදවාචක බවට පත් වුණා. අපට අද වගකීමක් තිබෙනවා, යළි යුද ගැටුම් නොමැති සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය තහවුරු කළ විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තිබෙන ගෞරවනීය රටක් ගොඩනැඟිමට.

ජාතික ජන බලවේගය ඒ ගෞරවනීය රට ගොඩනඟනවා. මේ රටේ පාලකයන් වලව් කිහිපයකින් බිහි වුණු අතර ප්‍රාදේශීය දේශපාලකයන් තවත් පිරිසකගෙන් බිහි වුණා. කුඩා, දූෂිත පවුල් කිහිපයක් අතර කේන්ද්‍රගත වෙලා තිබුණු බලය ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනතාවට මාරු වීමේ අවස්ථාව එළැඹී තිබෙනවා. ඒ නිසාම ඡන්ද කල් දමා තිබෙනවා.

අද අපේ රට පාලනය කරන්නේ ජනතාව විසින් තෝරා ගත් නියෝජිතයන් නොවෙයි. පසුගිය කාලයේ මැතිවරණවලදී අපේ ව්‍යාපාරය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාවල ඔවුන්ට අභියෝගයක් වන මහා ව්‍යාපාරයක් බවට අපි පත්වෙයි කියලා ඒ කිසිවකුත් සිතුවේ නැහැ. අද ඔවුන් ළඟ ව්‍යවස්ථාවේ, කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ බලය තිබුණත්, ජනතාවගේ බලය තිබෙන්නේ ජාතික ජන බලවේගයට.

ඒ වටා එකතුවී සිටින විශේෂිතම පිරිසක් තමයි, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය. ඒ අය සම්බන්ධයෙන් ගෞරවයක්, පිළිගැනීමක් සමාජයේ තිබෙනවා. ඒ නිසා ගම්දනව්වල ජාතික ජන බලවේගය නියෝජනය කරන ඒ පිරිස කෙරෙහි ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.
මේ තත්වයට බය වෙන ආණ්ඩුව විවිධ අණපනත් සම්මත කර ගනිමින්, ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවා. ‘ප්‍රතිත්‍රස්ත පනත’, ‘විකාශන අධිකාරී පනත’ වාගේ දේවල් ගේන්න උත්සාහ කරනවා.

ලංකාවේ පළමුවැනි වතාවට දේශපාලනික වශයෙන් පැහැදිලි බෙදීමක් දැන් ඇති වී තිබෙනවා. පසුගිය කාලයේ බෙදා තිබුණු සිංහල, දෙමළ, මුස්ලම් වාගෙම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් හැටියට සමාජය තීරු තීරු ලෙස බෙදුවා. උතුරෙත්, දකුණෙත්, නැඟෙනහිරත් ජාතිවාදී පදනමෙන් බලය වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කර ගත්තා. නමුත්, පොදු සමාජයේ සියලු දෙනාට ඖෂධ හිඟය, දරු දැරියන්ට අධ්‍යාපනය නොලැබීම, රැකියා අහිමවීම වාගේ පීඩාවන්ගෙන් වෙළී ඉන්නවා.

ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනතාව සාමුහිකව ඉහළ පැලැන්තියට විරුද්ධව නැඟී සිටියා. පහළ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඉහළ ඉන්න පාලකයන් දෙස සැකයෙන් බලන්න ගත්තා. අසාධාරණයට, පීඩාවට පත්වී අයුක්තිය, අසාධාරණය දරා නොගන්න මිනිසුන් අවුරුදු හැත්තෑපහක් මේ රට විනාශ කළ පාලක පැලැන්තියට විරුද්ධව නැඟීසිටීම නිසා ඔවුන් ඉදිරියේ බියජනක චිත්‍රයක් ඇඳී තිබෙනවා. මේ නිසා ආයෙත් මේ සමාජය ජාතිවාදී, ආගම්වාදී ගැටුමකට ගෙන යන්න උත්සාහ කරනවා. පැරැණි නාළිකාම කසකාරයන් හැටියට ක්‍රියා කරන හැටි දැන් පැහැදිලියි.

අපි කුඩා කාලයේ මගේ ගමේ, තඹුත්තේගම ස්ටේෂන් මාස්ටර්, රෝහලේ වෛද්‍යවරයා, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙමළ අය. නමුත්, ඒ අයව අසූතුනේ ජාතිවාදී කෝලාහලවලින් දැඩි හිංසනයකට පත් වුණා. සමහර අය ඝාතනය කළා. මේ පාලකයන්ට බලය ලබා ගන්නත්, බලය ආරක්‍ෂා කර ගන්නත් ජාතිවාදය ඕනෑ කළා. ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගත හැකි වුණේ ඒ ජාතිවාදය නිසයි.

යාපනයේ පුස්තකාලය ගිනිතැබීම, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි කිරීම සහ 83 ජූලි කෝලාහල නිසා ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමේ ගර්භාෂය හදා දුන්නා. පාස්කු ප්‍රහාරය එල්ල කිරීමටත් පෙර විවිධ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් වාගේම ඊට විරුද්ධ බව කියා ගන්නා ක්‍රියාකාරකම් අපි දැක්කා. නමුත්, පස්සේ හෙළිවුණේ මේ දෙගොල්ලන්ටම එකම ගිණුමකින් සල්ලි වියදම් කළ බවයි. දැනුත් එහෙම නොවෙයි කියන්න ඇති සහතිකය මොකක්ද.

මුස්ලිම් අය සහ සිංහල අය අතර විශාල බෙදීමක් නිර්මාණය කළා. කුඩා පාසල් දරුවන්ට පවා මුස්ලිම් කඩවලට නොයන ලෙස මත වැපිරුවා. බලය ලබා ගැනීම සඳහා අටවන එවැනි කිසිම පන්නයේ උගුලකට යලිත් කිසිම විදිහකට අපි ඉඩ නොදිය යුතුයි. එකම පාසලේ, එකට ඉගෙන ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් එකට සතුටින් අත්පුඩි ගහන සුන්දර දර්ශනයක් අපට ඕනෑ”

ජාතික ජන බලවේග විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *