පාර හදන්න කලින් ජල, විදුලි, ටෙලිකොම් ඉදිකිරීම් සඳහා පියවර…!

November 26, 2021 at 9:38 am | by emanisa.lk

ජල, විදුලි, ටෙලිකොම් වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී නිම කරන ලද මාර්ගයන්ට වන හානි අවම කරගැනීමට මෙතෙක් පැවති ක්‍රමවේදයට බාහිරව මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ ආයතන සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් සැලසුම් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අනිකුත් ආයතන ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලදී යොදාගත හැකි ආකාරයට මාර්ග දෙපස මීටර් දෙක බැගින් වපසරියක් වෙන් කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්  කියා සිටියේය.

“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව එම සාකච්ඡාවට එක්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පැවසීය.

ජනතාව ඉමහත් උනන්දුවකින් බලා සිටින මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බවත්, කොවිඩ් වසංගතය හමුවේ දැඩි කැපවීමකින් උදාකරගත් එම අවස්ථාව විශාල ජයග්‍රහණයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වන බව ද ඒ මහතා කියා සිටී.

මාර්ග සංවර්ධනයේ දී අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්තර්ජාතික නියමයන්ට අනුව සිදු කෙරන අතර ඉදිකිරීම් වලදී ද ජාත්‍යන්තර ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිකිරීම් හා පුහුණු කිරීම් ආයතනය නියම කළ තාක්ෂණික පිරිවිතරයන්ට අනුව ම කටයුතු කරන බව ද පේමසිරි මහතා පැවසීය.

මේ අතර කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතු වන ප්‍රධාන මංසන්ධි සියල්ල පුළුල් කර, නවීන තාක්ෂණයෙන් යුත් ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර තිබේ.

භෞතික අවහිරතා ඇති ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිතා කරමින් මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමට ද යෝජනා කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී හලාවත නගරයට සහ මාර්ග කොටසට වැසි ජලයෙන් වන බලපෑම වළක්වා ගැනීමට ද සැලසුම් සකස් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස