ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන, උත්තර සභාගයක් හදනවා! – විමල්…

September 1, 2022 at 8:01 pm | by emanisa.lk

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් එළඹෙන සැප්තැම්බර් 4 වැනිදා ගොඩනගනු ලබන්නේ, රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන උත්තර සභාගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

අද(01) බොරැල්ල රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ස්වාධීන පක්ෂ එකමුතුව පසුගිය කාලය පුරාම රටේ ඇතිවූ ප්‍රශ්නවලදී එකමුතුව, සමගියෙන් යුතුව ක්‍රියාත්මක වූ කණ්ඩායමක් බව ඔබ දන්නවා. එදා නව ආණ්ඩුවක් තුළ ඉඳගෙනම වුවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආ අවස්ථාවේදී ස්වාධීන පක්ෂ එකමුතුවේ බොහෝ පක්ෂ එහි නපුරුදායක කරුණුවලට එරෙහිව සටන් කරනු ලැබුවා. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ‘අදානිලාට’ විකිණීමට සැරසෙන විට අප පක්ෂ එකමුතුව ආණ්ඩුව තුළ සිටිමින් ඊට එරෙහිව අරගල කරා. වෘත්තීය සමිති හා මහජනතාව විසින් ගෙන ගිය සටන එමගින් තවත් ජව සම්පන්න ලෙස ඉදිරියට ගියා. අවසානයේ දී අපට ඒ අනතුර පරාජයට පත්කර ගැනීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි ඇමරිකාවේ New Fortress Energy සමාගමට අපේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් ටෙන්ඩර් පටිපාටියට පිටින් යමින් LNG සැපයීමේ ඒකාධිකාරිය ලබාදීමට යාමේදී අපි ආණ්ඩුව තුළ සිටිමින් ඊට විරුද්ධව සටන් කළා පමණක් නොවෙයි, ඒ නපුරුදායක කටයුත්ත අදටත් මේ පොළොව තුළ ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී වගේම තවත් අවස්ථා ගණනාවකදීම ස්වාධීන පක්ෂ එකමුතුව ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටිමින් ජනවරමේ අර්ථය ආරක්ෂා කිරීමට අභ්‍යන්තරව සටන් කරනු ලැබුවා.

මහා පවුරක් ගොඩනැගීම
ඒ සටන් හේතුවෙන් තමයි ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටි අපට ඉන් පිටතට ඒමට සිදුවූයේ. එසේ ඒ ආණ්ඩුවෙන් බැහැරවීම අපි ඉතා සතුටින් බාර ගනු ලැබුවා. එතැන් සිට අපි අපේ දේශපාලන භාවිතය නොවෙනස්ව, ඉතා පවිත්‍රව තබා ගනිමින්, සාකච්ඡා කරමින්, එකඟතා ඇති කර ගනිමින් ඉදිරියට ආවා. ඒ ආපු ගමනේ එක වර්ධනාත්මක, තීරණාත්මක සන්ධිස්ථානයකට අපි එළඹෙමින් තිබෙනවා. ඒ තමයි අපි පෙන්නපු දේශපාලන අවංකභාවය, දේශපාලන ඒකාග්‍රතාවය වඩා තීව්‍ර කොට, ජවසම්පන්න කොට, මේ රටේ ජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා මහා පවුරක් ගොඩනැගීම. ඒ අනුව තමයි සැප්තැම්බර් 4 වැනිදා සවස 3ට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී නව උත්තර සභාගයක් පිහිටුවීම සඳහා තීරණය කර ඇත්තේ.

ඒ නව සභාගය එන්නේ ප්‍රශ්න වවාගෙන කන්න නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න තොරොම්බල් කරමින් ජීවත් වෙන්න නොවෙයි. ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන, උත්තර සභාගයක් තමයි අපි ගොඩනගන්නේ. අපි විශ්වාස කරනවා, ඒ උත්තර සභාගය මේ මහා ආර්ථික අර්බුදයේ ගිලී සිටින මේ රටේ සියලු ජනීජනයාගේ, මේ රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත් වේවි, කියලා. ඒ සියලුදෙනාට අපි ආරාධනා කරනවා, ‘සැප්තැම්බර් 4 වැනිදා ඒ උත්තර සභාගයේ කලඑළි මංගල්‍යයට ඔබත් සහභාගි වෙලා මේ රටේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක ඇරඹුමට දායක වෙන්න’ කියා.

‘ඔබ මේ සභාගයේ අයිතිකරුවෙක්’
ස්වාධීන පක්ෂ එකමුතුව මෙසේ ගොඩනඟනු ලබන උත්තර සභාගයට ඉදිරියේදී තවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාව, උඩරට හෝ පහතරට ප්‍රභූ පැළැන්තියෙන් එන කවුරුන් හෝ දිහා බලාගෙන තීන්දු තීරණ ගැනීම වෙනුවට, මේ මහපොළොවේ සාමාන්‍ය ජනී ජනයාගේ ජීවන හුස්ම හොඳින් හඳුනාගෙන කටයුතු කරන, ඒ නව දේශපාලන සභාගය සමඟ අත්වැල් බැඳගනියි, කියන විශ්වාසය අපට තිබෙනවා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතිකත්වයන්ට අයත් ජනයාට, සියලු ආගම් අදහන ජනයාට, විවිධ අනන්‍යතා නියෝජනය කරන ජනකොටස්වලට හෘදයාංගමව පවසනවා, ‘මේ සභාගය ඔබේ සභාගයයි; මේ රට ජයග්‍රහණය කරා රැගෙන යන, ගොඩගැසී ඇති ප්‍රශ්නවලට උත්තර සපයන, අභිමානවත් අනාගතයක් මේ පොළවට උරුම කර දීමට කැපවීමෙන් යුතුව කටයුතු කරන ඔබේ සභාගයයි. ඔබ ඒ සභාගයේ සාමාජිකයෙක්, අයිතිකරුවෙක්’ කියා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස