නැඟෙනහිර ජැටියේ 49%ක් ඉන්දියාවට අයිති වන කතා බොරු….! 49%න් කොටසක් ජපානයට සහ ලංකා සමාගමකටත් හිමියි…!

January 24, 2021 at 12:10 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට හතළිස් නවයක් ඉන්දියාවට හිමිවන බව කීවත් එම සියයට 49 ම මුළුමනින්ම ඉන්දියාවටම හිමි නොවන බවත්, එයින්ද කොටසක් ලංකා සමාගමකට හිමිවන බව වරාය ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ලංකා වරාය අධිකාරියට සියයට පනස් එකක් හිමිකරගෙන පාලන බලය සතුකර ගනිද්දී ඉන්දියාවත්, ලංකා සමාගමත්, ජපානයටත් සියයට හතළිස් නවය බෙදී යන බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම නැගෙනහිර වරාය පර්යන්තය ක්‍රියාත්මක වන්නේ ප්‍රති අපනයන කාර්යය සඳහාය. විශාල බහාලුම් මගින් ගෙනෙන භාණ්ඩ කුඩා නැව් මගින් ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය ආදී රටවලට ගෙන යාම මෙහිදී සිදු වෙයි. මෙරට ප්‍රති අපනයන වෙළෙඳාමෙන් සියයට 61 ක්ම සිදු කෙරෙන්නේ ඉන්දියාව සමගය. ඉන්දියාව වරායේ කොටස්කාරයකු කර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ මේ ප්‍රති අපනයන ප්‍රතිශතය තවත් වැඩිකර ගැනීම බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක පවසයි.

ඉන්දියාවට මේ වරායේ සබඳතා බිඳ වැටුණොත් ඔවුනට ඇති විකල්ප අවස්ථා බොහෝය. දකුණු ඉන්දියාවේ වරායන් දියුණු කිරීම සේම මාලදිවයින් දූපත් ප්‍රයෝජනයට ගැනීම ආදියට යොමු වීමෙන් ලංකාවේ ප්‍රතිඅපනයන වෙළෙඳාම ද නැගෙනහිර පර්යන්තයේ වැදගත්කම ද අඩු වීමට හේතු වේ.

එසේ ම බොහෝ පිළිගත් බටහිර නැව් සමාගම් ගනුදෙනු කරන්නේ, සබඳතා පවතවන්නේ චීනය, ඉන්දියාව වැනි බලවත් රටවල් සමගය. එබඳු ජාත්‍යන්තර වෙළෙඳාමක දී රටේ වරායේ පිහිටීම සේම මෙබඳු කාරණාද අතිශයින් බලපාන බව වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති රෝහිත අබේගුණවර්ධන පවසයි.

‘අපිට ඕනෑ මේ ප්‍රති අපනයන සියයට 61 තව තවත් ඉහළට ගෙනිහින් සියයට 70 කට වඩා ඉන්දියාව සමග ප්‍රති අපනයනය වෙළෙඳාම පවත්වන්න. මේක වරාය විකිණීමක්, බදු දීමක් නොවෙයි. මේක වෙළෙඳාම නැංවීමක්. වරායක පැවැත්ම තියෙන්නේ වෙළෙඳාම මත. නැතිනම් ඒකේ අයිතිය සියයට ගණන මත නෙවෙයි. වරායේ වටිනාකම තියෙන්නෙත් වෙළෙඳාම මත. අපි වෙළෙඳාම දියුණු කර රටට ලාභ ගෙනෙනවා මිස වරාය විකුණා, බදු දී ලාභ ලබන වෙන්දේසිකාරයෝ නෙවෙයි.’ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස