නව ව්‍යවස්ථාවට පෙර පළාත් සභා ඡන්ද එපා….! පළාත් සභා පිහිටුවා බලය කේවල් කරන්න යාම විහිළුවක්….! – වසන්ත බණ්ඩාර….

January 16, 2021 at 8:25 pm | by emanisa.lk

සෞභාග්‍යයේ දැක්ම නම් වූ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු හේතුවක් නොමැති බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ද, නැද්ද යනුවෙන් ඇති වී ඇති සංවාදය පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසී ය.

“වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම නමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මත. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ජාතික ගැටලුව ඇතුළු මෙම රාජ්‍යය තුළ පැන නැඟුණු ප‍්‍රශ්න විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන එන බව. එම ප‍්‍රකාශය තුළින් පැහැදිලි වෙනවා නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක‍්‍රමයේ යම් සංශෝධනයක් සිදුකරන බව.

එම සංශෝධනය සිදු කිරීමට පෙර මෙම අවස්ථාවේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට බාධාවක් වනවා. ඒ වගේ ම මෙම අවස්ථාවේ දී මැතිවරණය පවත්වා වසර 5ක කාලයක් සඳහා පළාත් සභාව පිහිට වූ පසු නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක‍්‍රමය යම් වෙනස් කිරීමකට ලක් කිරීමට යෝජනා කළහොත් එම අවස්ථාවේදීත් ගැටුමක් ඇති වෙනවා. වසර 5 ක කාලයක් සඳහා පළාත් සභාව පත් වී තිබියදී නව ව්‍යවස්ථාව මගින් එය වෙනස් කිරීමට යෝජනා කිරීම නොකළ යුතු දෙයක් බව පොඩි ළමයකුට වුවත් තේරෙනවා.

ආණ්ඩුව වර්ෂයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කරන බව පොරොන්දු වූවා. එසේ නම් කිසිම කලබලයක් නැහැ, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට. එසේ තිබිය දී එම මැතිවරණය පැවැත්වුවහොත් එය ආණ්ඩුවේ අවංකභාවය පිළිබඳව ප‍්‍රශ්න මතුකරන්නක්. මේ වන විට වසර තුනක් පුරා ක්‍රියාත්මක නොවූ පළාත් සභාව සඳහා එම මැතිවරණය පවත්වන ලෙසට මහ ජනතාව තුළින් ද බරපතළ ඉල්ලුමක් නැහැ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස