දේශපාලන බලපෑම් නිසා දූෂණ පාලනය කරන්න බෑ…! රාජකාරිය කරන්න බැරි නම් තනතුරු වැඩක් නෑ…! – ගෙදර යන පාරිභෝගික අධ්‍යක්ෂ ජනරාල් හෙළිදරව්වක….

September 19, 2021 at 6:16 pm | by emanisa.lk

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන පවසයි.

දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී තුෂාන් ගුණවර්ධන තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.

සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමණක් නොව ඊට ඉහළ තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරීන් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලනඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පලක් නැතැයි ද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස