දෙහිවල හිර ගේ තිබ්බම හොඳට ම ඇති…! එළිමහන් සත්වෝද්‍යාන එපා…! – වෘත්තීය සමිති විරෝධයේ…

October 16, 2021 at 2:33 pm | by emanisa.lk

දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ උත්සාහ දරන බවට සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවෙයි.

මේ අනුව මෙම ප්‍රශ්නය දුරදිග ගියහොත් රජයට යළිත් වෘත්තීය සමිති උද්ඝෝෂණයකට හෝ ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අගමැති මහින්ද රාජපක්ෂට කරුණු පෙන්වාදී ඇත.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් (13 )වැනිදා පවත්වා තිබූ අතර එය විසඳුමකින් තොරව අවසන්වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එළිමහන් සත්වෝද්‍යානයක් අනිවාර්යෙන්ම එහි ඉදිකළ යුතුව බව ලොකුගේ මහතා එම රැස්වීමේදී අවධාරණය කර ඇත.

මෙම පිළියන්දල ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හිමිවූවකි. මෙහි දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සඳහා රෝහලක් සහ සතුන්ට ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට කාලයක සිට යෝජනාවී තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය නුදුරු ස්ථානයක පවතිද්දී එළිමහන් සත්වෝද්‍යානයක් මෙලෙස ඉදිකිරීම අනවශ්‍ය මෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *