දුෂ්කර සමය ඉක්මනින් නිමා වී සියල්ල යහපත් වෙයි…! තවජදුරටත් රජය විශ්වාස කරන්න…! – අමාත්‍ය රමේෂ් පතිරණ.

November 9, 2021 at 1:46 pm | by emanisa.lk

බඩු මිල ඉහළ දමන්න කිසිම රජයක් අකැමති නමුත් ඒ කටුක යථාර්ථයට මුහුණ දෙන්න අපට සිදුව ඇතැයි වැවිලි අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ පවසයි.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති තේ සමිති සඳහා කෘෂි උපකරණ ලබාදීමේ අවස්ථාවට ඒක්වෙමින් අමාත්‍යවරයා ‌මේ බව සඳහන් කළේය. වැවිලි අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

“මේ වන විට තේ කර්මාන්තය විශාල ශ්‍රම හිඟයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අනාගතවාදී වී තේ කර්මාන්තය යාන්ත්‍රිකකරණය නොකළොත් මෙම කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒ නිසා තේ දලු නෙලන්න, පැළ ඉන්දන්න අවශ්‍ය උපකරණ ලබාදෙනවා. අනාගතයේ දී මෙම කර්මාන්තයට අවශ්‍ය තවත් නවීන තාක්ෂණික උපකරණ ලබා දෙන්න අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම තේ දලු නෙලීමේ උපකරණ ඉක්මනින්ම ප්‍රචලිත කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් සති පතා දලු නෙලීම සිදුකරනවා. නමුත් මෙම උපකරණයෙන් දලු නෙලන විට සති දෙකෙන් දෙකට දලු නෙලීම සිදුකරන්න වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මෙම උපකරණ භාවිතාවෙන් දලු නෙලන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.
නමුත් සති දෙකකට වරක් දලු නෙලීමෙන් දළු අස්වැන්න අඩු නොවන බව තේ පර්යේෂණායතනය ඔප්පු කර තිබෙනවා. අපිට අවශ්‍ය අඩුපාඩු මඟහරවාගෙන වැවිලි කර්මාන්තයට හොඳ කල දවසක් උදාකරන්නයි. ඒ සඳහා ලබාදිය හැකි සෑම උදව්වක්ම ලබාදෙන්න වත්මන් රජය පැකිලෙන්නේ නැහැ. මේ වසරේ දී අපේ තේ අස්වැන්න කිලෝ මිලියන 320යි. පසුගිය වසරට වඩා තේ දලු කිලෝ මිලියන 40ක් වැඩියි.

සාර්ථක තේ වගාවකට පොහොර වගේ ම උස් සෙවන ශාක හා මිටි සෙවන ශාක අවශ්‍යයි. ඒ වගේ ම ජල පහසුකම් අවශ්‍යයි. තේ වගාව සඳහා අවශ්‍ය උස් සෙවණ ශාක හා මිටි සෙවණ ශාක නොමිළයේ ලබාදෙන්න කුඩා තේවතු සංවර්ධණ අධිකාරිය කටයුතු කරනවා.

පසුගිය වසර දෙකක කාලයක සිට තේ, පොල්, කුරුඳු සහ රබර් ආශ්‍රිත අපනයන නිෂ්පාදනවල ආදායම වැඩි වෙමින් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩි ම පොල්, රබර් ආදායම මේ වසරේ ලැබෙනවා. කුරුඳුවල අපනයන ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් 600ට ආසන්න මුදලක් මේ වසරේ ලැබීමට නියමිතයි.

වසර 150ක් රටට ජාතික ධනය උපයාදුන් තේ කර්මාන්තයේ අස්වැන්න තවත් ඉහළ නංවන්න අප කටයුතු කරනවා. මේ කාලයේ යම් අපහසුතාවක් ඇති වුණත් ඉදිරියේ දී ඒ සියල්ලම හරියාවි. තේ වගාවේ පරිවර්තනීය වෙනසක් ඉදිරි වසරේ දී සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට ලෝකයේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහිල්ලා. බොරතෙල්, සිමෙන්ති, සීනි, වානේ මේ සියල්ලෙම මිල ඉහළ ගිහිල්ලා. කිසිම රජයක් කැමති නැහැ බඩු මිල ඉහළ දමන්න. නමුත් ඒ කටුක යථාර්ථයට මුහුණ දෙන්න අපිට සිදුවෙලා. අපි ඒ ගැන කණගාටුවට පත්වෙනවා.

සංචාරක ව්‍යාපාරයෙන් පමණක් පසුගිය වසර දෙකේ දී ඇමරිකානු ඩොලර් බිලියන 10 ක විදේශ විනිමයක් රටට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා රටේ ඩොලර් අඩුයි. නමුත් ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ සියල්ල හරි යාවි. ඒ නිසා රජයත් සමඟ තව දුරටත් විශ්වාසයෙන් ඉන්න.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්‍තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ සහ මන්ත්‍රීතුමන්ලා, බද්දේගම ප්‍රාදේශීය ලේකම්තුමිය හා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, තේ සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභා ගීවූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස