තිලංග සුමතිපාලට ක්‍රිකට් තහනම්! – හරීන් ප්‍රනාන්දු නියෝග කරයි…

October 15, 2019 at 11:07 am | by emanisa.lk

තිලංග සුමතිපාල, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සියලු ආකාරයේ කටයුතුවලින් බැහැර කරවමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (14) විශේෂ නියෝගයක් පනවා තිබේ‍.

නියෝගය පනවා ඇත්තේ ක්‍රීඩා පනතේ 39-1 වගන්තිය යටතේ ක්‍රීඩා ඇමැතිවරයාට හිමිවන බලතල අනුවය.

ඔට්ටු තැබීමට සම්බන්ධ පුද්ගලයකුට හෝ එවැන්නෙකුගේ පවුලේ සාමාජිකයකුට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය නො හැකි වන සේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉකුත් අගෝස්තු මාසයේ දී කටයුතු කළ අතර, එය නිකුත් වීමෙන් අනතුරුව ද තිලංග සුමතිපාල හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකට සහභාගි විය.

එහෙත් ගැසට් නිවේදනයට අනුව සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයේ එවැනි තනතුරක් දැරිය නො හැකි බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගමයක් වන පිළියන්දල ක්‍රීඩා සමාජය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත විරෝධතාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ය.

එම විරෝධතාව පදනම් කරගනිමින් තිලංග සුමතිපාලට ක්‍රිකට් සම්බන්ධ කටයුතුවල යෙදීම තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් සැපයීමට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 9 වැනිදා ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කළේය.

කමිටුවේ වාර්තාව මෙයට සතියකට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන් අතර එම වාර්තාව මත පිහිටා ඇමැතිවරයා විසින් විශේෂ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස