තව රැපීඩ් ඇන්ටිජන් තොගයක් අද රාත්‍රී ලංකාවට ළඟා වෙනවා! – ඇමති චන්න…

November 8, 2020 at 10:41 am | by emanisa.lk

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල තොගයක් අද (08) රාත්‍රියේ දී මෙරටට ළඟාවෙනු ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා කඩිනම් ඇන්ටිජන් පරීක්ෂාවක් මේ සඳහා යොදාගන්න පුළුවන් කියලා. දැනට එක ආයතනයක් පමණයි ලෝකයේ මෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නෙ, ඒ කටයුත්ත සිදු කරන්නෙ.

ඉතිං අප මැදිහත් වෙලා රටක් හැටියට ඒ තාක්ෂණය ඉක්මනින්ම යොදා ගැනීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපට පරිත්‍යාගයක් ලෙස ලැබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල අපි බලාපොරොත්තු වෙනවා ඉරිදා දිනයේ රාත්‍රියේ ලංකාවට ළඟා වෙයි කියලා.

පෞද්ගලික සමාගමක් මගින් ඒ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ලංකාවට ගෙන ඒම සඳහා කටයුතු යොදලා තිබුණා. අපේ මූලිකත්වය දෙන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබෙන පරිත්‍යාගයට. ඒ වගේ ම එහි මදි පාඩු තියෙනවා නම් අපි පෞද්ගලික ආයතනයකින් හෝ මෙය මිලදී ගැනීමට කටයුතු යොදනවා.

ඇත්තටම මේ සමාගම ලංකාවට ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ ගෙන්වීම සඳහා බලයලත් සමාගමක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නෙ. අප තවත් සමාගම්වලටත් දැනුම් දුන්නා, ආරාධනය කළා. අපි හිතනවා සමාගම් අතර තරගකාරීත්වයක් ඇති වුණාට පස්සෙ මීටත් වැඩිය අඩු මිලකට මේක ලබාගන්න පුළුවන් වෙයි කියලා.

PCR පරීක්ෂණයට වැඩිය සංවේදීකමේ යම් අඩුවක් තියෙනවා මේ පරීක්ෂණයේ. කෙසේනමුත් මේකෙ ඉතාම අඩු කාලයක් ගතවෙන නිසා මම හිතන්නෙ මේක ලොව පුරා මේ වෙනකොට පාවිච්චියට අරගන්නවා.”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස