ඩබල් PHD ගුරුවරයා ප්‍රාථමිකේ සිංහල උගන්වන්න දාලා!!!

December 25, 2020 at 8:34 am | by emanisa.lk

ගාල්ල අත්ථදස්සි කනිෂ්ට විද්‍යාලයේ ප්‍රාථමික පන්තිවල සිංහල ඉගැන්වීම සඳහා ආචාර්ය උපාධිය ඇතුළු පශ්චාත් උපාධි කිහිපයක් සහිත ගුරුවරයෙකි පත්කර ඇතැයි වාර්තා වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන කන්කානම් ගමගේ විරාජ් ධර්ම ශ්‍රී නම් මෙම ගුරුවරයා මේ වන විට ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධියේ කටයුතු ද ආරම්භ කර තිබීම විශේෂත්වයකි.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනාගත් ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාර ද උපාධිය දිනාගත්තෙකි. රැපියල් තෙන්නකෝන් ඇතුළු හෙළ හවුළ පිළිබඳ ගැඹුරු පර්යේෂණ කටයුතුවල නිරත වී ඇති ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී “සිංහල සාහිත්‍යය 10 ශ්‍රේණියේ සිසුන් සඳහා”, “සිංහල සාහිත්‍යය 11 ශ්‍රේණියේ සිසුන් සඳහා” සහ “තෙන්නකෝන් ගේ සඳෙස් කවි” කවි ඇතුළු ග්‍රන්ථ කිහිපයක කතුවරයා ද වෙයි.

හුදු උසස් වීම් සහ වැටුප් වර්ධක සඳහා ම විවිධ පාඨමාලා හදාරන ගුරුවරුන් මිස මෙ වැනි ශාස්ත්‍රගවේෂී ගුරුවරුන් දුලබ යුගය පාසල් පද්ධතිය සතු මෙවැනි සම්පත් සිසුන් සුළු ප්‍රමාණයක් සිටින කනිෂ්ට විද්‍යාලයක ප්‍රාථමික පන්තියක සිංහල ඉගැන්වීම සඳහා යෙදීම මහා අපරාධයකි. බොහෝ පාසල්වල උසස් පෙළ ඉගැන්වීම් සඳහා සුදුසුකම් ලත් ගුරුවරු හිඟයක් පවතින පසුබිමක මෙ වැනි කටයුතු සිදුවීම ද පුදුම සහගත ය.

විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යනාංශයක සේවය කළ යුතු තරම් ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති මේ ගුරුවරයා දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක උසස් පෙළ පන්තිවල සිංහල ඉගැන්වීම සඳහා හෝ යොදා නොගෙන අප්‍රසිද්ධ කනිටු විදුහල ප්‍රාථමික පන්තියක සිංහල භාෂාව ඉගැන්වීම සඳහා නාස්ති කිරීම මේ රටට මෙන් ම සිසු පරපුරට ද රටේ අධ්‍යාපනයට ද සිදු කරන විශාල අකටයුත්තක් බව සුප්‍රකට සම්මානලාභී සාහිත්‍ය-කලා නිර්මාණකරුවෙක් මෙන් ම විචාරකයෙකු ද වන බුද්ධිමතෙක් emanisa.lk සමඟ සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස