ජනපති පොරොන්දු අකුරටම ඉටුකරයි! දිළිඳු පවුල්වලට ලක්ෂයක් සහ උපාධිධාරීන්ට පනස්දාහක් රැකියා සූදානම්!

August 14, 2020 at 5:10 pm | by emanisa.lk

මහා මැතිවරණය නිසා නතර කෙරුණු 150,000ක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කරන අතර ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

ජනාධිපතිවරයා පසුගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කරනු ලැබීය.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබු අතර අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණි.

ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කිරිම නිසා එම වැඩසටහන අත්හිටුවන ලැබිණි.

අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.

පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථපානය කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ.

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වනවා.

සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට හැකියාව පවතිනවා.

තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස