ජනපතිගෙන් අලුත් ගැසට්ටුවක්…! අමාත්‍යංශ දහයක කාර්ය වෙනස් වෙයි..! ආයතන 16ක් විමල් යටතට…!

January 11, 2022 at 8:03 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යංශ කිහිපයක කාර්ය භාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් ඊයේ (10) නිකුත් කර තිබේ.

ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට බෞද්ධ පුනරුද අරමුදල සහ රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථ සාධක සංගමය එක්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ පවතින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල, මහා භාරකාර දෙපාර්තමේන්තුව එක්කර ඇති බව සඳහන් වේ.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කළමණාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර ඇත. ඒ අනුව එහි කාර්යයන් හා කර්තව්‍යයන් සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතනික හා නෛතික රාමුව අධිකරණ අමාත්‍යංශය යටතට පත්කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය ද මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

සුසිල් ප්‍රේමජන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතේ පැවැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ඇත.

ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර ඇති අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඩී.වී. චානක කටයුතු කරයි.

විමල් වීරවංශ අමාත්‍ය ධුරය හොබවන කර්මාන්ත අමාත්‍යංශය යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත්කර ඇති අතර ඒ අනුව ඔහු යටතේ පවතින ආයතන ගණන 16ක් දක්වා ඉහළ යනු ඇත.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස