අපේ අධ්‍යාපන ආකෘතිය අතීත උරුමය මත පිහිටා අනාගත අභියෝග ගැනීමේ මාවත විය යුතුයි…! – ගෙවිඳු

December 4, 2021 at 9:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ ගරු සභාපති ගෙවිඳු කුමාරතුංග අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එකතු වෙමින් සිදුකළ දේශනය පහත දැක්වෙයි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වැනි දේශීය චින්තනයෙන් හැඩගැසුණු අත්දැකීම් බහුල පරිණත නායකයෙක් අපේ රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් පත්ව සිටීම සතුටට කාරණයක්. අතිගුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතමාටත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතා අපේක්ෂාව වූයේ 77 ඇරඹී පරාධීනත්වයේ ණයගැතිභාවයේ ගමනට වෙනස් ගමනක්. ස්වශක්තිය මත ස්වදේශීකත්වය මත අපේ සභ්‍යත්වය උරුමය මත පදනම් වූ ගමනක්. සෞභාග්‍යයේ දැක්මෙහි අධ්‍යාත්මය පිළිබඳ කරුණු අප විසින් ගොනුකර තිබෙන්නේ ම ඵලදායි පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් යන තේමාව යටතේයි. අපේ අධ්‍යාපනයෙත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් ඉලක්කය කුමක් විය යුතු ද යන්න ඉන් පැහැදිලියි.

ඒ වගේ ම කාර්යක්ෂම පාලනයක්, නිපුණතා සපිරි සමාජයක් ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් ගොඩනැඟීම සෞභාග්‍යයේ දැක්මේ ඉලක්කයයි. එය අපේ සහෝදර ජනතාවගේ ප්‍රාර්ථනාවයි. අප අගයන මේ ඉලක්ක සපුරාගත හැක්කේ කෙසේ ද? ඒ වගේ ම අධ්‍යාපනය මගින් ලෝකය ගරු කරන පුරවැසියන් බිහි කිරීම පිළිබඳ ලෝකයේ නව ප්‍රවණතා හා එක්ව ගමන් කළ හැකි පුරවැසියන් බිහිකිරීම පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අතුපතර දසත විහිදුවමින් අහස සිප ගන්නා මල්බර ඵලබර මහා වෘක්ෂයක් පිළිබඳ සිහින නිසා අප ඇතැම් විට නොමඟ යෑමට ඉඩ තිබෙනවා. එවැනි මහා වෘක්ෂයක පදනම අපට නොපෙනෙන මුදුන් මුල බව අපට අමතක වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේ ම විශ්වයේ ඉලක්ක හඹා යන අපට ගෝළීය ප්‍රවණතා අභියෝග හමුවේ විනයගරුක නීතිගරුක පුරවැසියන් බිහි කර ගැනීමේ පදනම නිවැරදි ලෙස රීත්‍යානුකූල ලෙස ව්‍යාකරණානුකූල ලෙස මව්බස භාවිතයෙන් ලබන ශික්ෂණය හා බැඳී ඇති බව නොපෙනී යාමේ අනතුරක් අප සමාජය හමුවේ තිබෙන බව අමතක කළ නොහැකියි. ඒ වගේ ම නිර්මාණශීලීත්වයේ පදනම වන්නේ ද මව්බස ඇසුරෙහි විවිධ වූ නිර්මාණ කිරීමේ පරිචය බව ද අද පිළිගත් මතයක්.

ගරු අධ්‍යාපන ඇමැතිතුමනි, ඔබතුමා මේ සභාවේ හමුවේ අධ්‍යාපන අමාත්‍යංශයට බැඳුණු වාර්තාවන්ට තබා ඇති පෙරවදනෙහි කුමාරතුංග මුණිදාසයන්ගේ අලුත් අලුත් දෑ නිපදවීම පිළිබඳ අදහස උපුටා දක්වා තිබෙනවා. ඒ ස්වදේශික ප්‍රාඥයා නිවැරදි භාෂා භාවිතයට හුරුපුරුදු වීමේ හා නිරවුල් චින්තනය, ක්‍රමානුකූලභාවය අනුව කටයුතු කිරීමට ලබන ශික්ෂණය අතර සම්බන්ධය මොනවට පෙන්වා දී ඇති බව සිහිපත් කරන්න කැමතියි. ඒ වගේමයි නිර්මාණශීලීත්වය. හිතින් අලුත් අලුත් දෑ නිපදවීමට පුරුදු පුහුණු වන දරුවා ගතින් අලුත් අලුත් දෑ නිපදවීමට යොමු වන බව එතුමාගේ විරිත් වැකියෙහි පෙරවදනෙහි පෙන්වා දී තිබෙනවා. මෙම කරුණු ඉංගිරිසි භාෂාව පිළිබඳ සිදුකර ඇති පර්යේෂණයන් මගින් අද මොනවට තහවුරු කර තිබෙනවා.

එංගලන්තයේ නැඟී සිටීමේ ආරම්භය ලතින් භාෂාවෙන් වූ බයිබලය ඉංගිරිසියට පරිවර්තනය කිරීම හා ඉංගිරිසි භාෂා සාහිත්‍ය නවෝදය හා බැඳී ඇති බව පර්යේෂණ ගණනාවක් මගින් අද ප්‍රකාශයට පත්ව තිබෙනවා. මේ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී ද ප්‍රාථමික හා ද්විතීයීක අධ්‍යාපනයේ දී ද මව්බස නිවැරදිව හා ක්‍රමානුකූලව භාවිතය පිළිබඳ මෙන් ම නිර්මාණශීලී භාවිතය පිළිබඳ ද සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම පරිචයක් ලබා දීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේ ම එකදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 123ක් ඇති බව පෙන්වා දෙමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ම අවම වශයෙන් එක ජාතික පාසලක් ලබා දෙන ජාතික පාසල් දහසේ ව්‍යාපෘතිය නිවැරදි දිශානතියට ගත් තීන්දුවක් ලෙස අප අගය කරනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් පොදු ජාතික සැලැස්මක් ක්‍රියාවට නැඟීමේ වැදගත්කම නැවැත නැවැත අවධාරණය කර ඇති බව අප දන්නා කරුණක්. මේ ජාතික අභිලාෂයන්ට එරෙහිව අද හඬ නඟන ඇතැමුන් අවස්ථාවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් පළාත් සභා අක්‍රීය කිරීමට පවා අත එස වූ බව අප සිහිපත් කළ යුතුයි. මේ අවස්ථාවාදය අප විසින් ප්‍රතික්ෂේප කර අපේ රටේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් පොදු ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරවීම අප වෙනුවෙන් ඡන්දය දුන් ඒ මහා ජනකාය බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති බොරු වළවල් පිළිබඳ ව ද යමක් කෙටියෙන් කිව යුතුයි. ගරු එස්.බී. දිසානායක මැතිතුමා මේ ගරු සභාවේ දී සිංගප්පූරුව පිළිබඳ අතිමහත් වර්ණනාවක් කරනු ලැබුවා. ඇතැමුන් මැලේසියාව බටහිර විශ්වවිද්‍යාලවලට දොරටු විවර කිරීම වර්ණනා කරනවා. සිංගප්පූරුව කොළඹ දිස්ත්‍රික්කයට මදක් විශාල වූ නගරයක්; රාජ්‍යයක්. එහි ඉතිහාසය වසර කීයද? මැලේසියාවේ ත්‍රිවිලරයකට නැඟ්ග විට ඔවුන් ගෙනෙන යෝජනා අප සංස්කෘතිය අනුව නම් පිටුදැකිය යුතු දුෂ්චරිත. මේ සභාවේ ඇතැමුන් රාත්‍රී ආර්ථිකයක් පිළිබඳ අතිශයෝක්තියෙන් වර්ණනා කරනු අපට දකින්නට ලැබෙනවා.
මේ අයවැය තුළත් අපේ රටේ සෑම දිස්ත්‍රික්කයක් සඳහා ම නවීන පන්නයේ ජාත්‍යන්තර පාසලක් ඇති කිරීමට ආයෝජකයින් දිරිගැන්වීමේ යෝජනා තිබෙනවා.

අපි අවුරුදු දහස් ගණනක අතීතයකට හිමිකම් කියන ප්‍රෞඪ අතීතයකට හිමිකම් කියන ජාතිකයක්; රටක්. ඒ නිසා අපේ අධ්‍යාපන ආකෘති ඒ අතීත උරුමය මත අනාගතය ගොඩනඟා ගැනීමේ අභියෝග ජයගත හැකි දිශානතියට යොමු වන මාවතක් විය යුතුයි. ජපානය, චීනය, කොරියාව තමන්ගේ මව්බස පදනම් කර ගනිමින් තමන්ගේ සංස්කෘතිය පදනම් කර ගනිමින් පෙරලා ලෝකයට ද නව නිර්මාණ, නිෂ්පාදන ලබා දිය හැකි අධ්‍යාපන පද්ධති ගොඩනඟා ඇති බව අප අවබෝධ කරගත යුතුයි. ගරු අධ්‍යාපන ඇමැතිතුමා විසින් සිය පෙරවදනෙහි විරිත් වැකියෙන් උපුටා දක්වා ඇති අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යන කවියෙහි ඊළඟ පදය ද ඔබට ඉදිරිපත් කිරීමට කැමැතියි.

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟ
හිඟාකෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී”

1977 ඇරඹි හිඟාකෑමේ යුගය නිමා කර අද අපි අලුත් මාවතකට යොමු විය යුතුව තිබෙනවා. කොවිඩ් වසංගතය ද ඒ සඳහා අපට බලකර සිටිනවා. අභියෝග හමුවේ මර ගී ගයා සැතපෙනවා ද? නො එසේ නම් අධිෂ්ඨානශීලී ලෙස ලොව හමුවේ නැඟී සිටිනවා ද? යන්න අද අප ගන්නා පියවර මත තීරණය වනු ඇත. මේ තීරණාත්මක අවස්ථාවේ අපගේ සභ්‍යත්ව උරුමය මත නැඟී සිටීමට ගරු අධ්‍යාපන ඇමැතිතුමාට සුවිශේෂ වගකීමක් තිබෙන බව අපගේ අදහසයි. ඒ සඳහා ඔබතුමාට සුබ පතමින් මගේ කතාව අවසන් කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස