ජනතාවට රටක් නැති කළ දුෂ්ට පාලකයන් පන්නන දවස වැඩි ඈතක නෑ…! – ලාල්කාන්ත…

June 22, 2023 at 10:22 am | by emanisa.lk

රටට අලුත් ආරම්භයක් නැත්තේ පාලකයින් මැතිවරණය හිරකරගෙන ඉන්න නිසා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

අවුරුදු 75ක් පැමිණි ගමන වෙනස් කරලා අලුත් ගමනක් යන්න පදනම දැමීමට තිබූ අවස්ථාව නැවැත්වූ රනිල් රාජපක්ෂ පාලනයට ඒ වන්දිය ගෙවන්න වෙනවාමයි. ඒගොල්ලන්ට කියන්න ඕනෑ, ජනතාවගේ අයිතිවාසිකම් නැති කරලා, බයෙන් ජීවත් වෙයල්ලා. දැන් ඉන්නේ ඡන්දවලින් පැනලා ගිහිල්ලා ජනතාවගෙන් හැංගිලා බයෙන්.

ජාතික ජන බලවේගය ඡන්දවලින් දිනලා රටේ තිබෙන ප්‍රධාන සටන් පාඨ තුනෙන් පළමුවන සටන් පාඨය, ‘හොරු පන්නමු’, කියන සටන් පාඨය. මේ වන විටත් ආරම්භක පියවර තියලා. දෙවැනි සටන් පාඨය වන ‘හොරුන්ට දඬුවම් දෙමු’ කියන එකත්, බිම් මට්ටමින් ආරම්භ කරලා. ‘හොරා කාපු ධනය නැවත පවරා ගම්මු’ කියන තුන්වෙනි සටන් පාඨයත් නැවත පටන්ගෙන.

ඡන්ද කල්දැමීම විසින් මේ ක්‍රියාමාර්ග තුන නතර කරලා තියෙන්නේ. රට පුරාම මේ විදිහට දිස්ත්‍රික්කවලට ආසනවලට ගිහින් අපි කියන්න ඕනෑ පාලකයන්ට මේ පෙළගැස්ම හදාගෙන ජාතික අරගලයකට එන බව. එදාට නුඹලාට මේක දාලා යන්න වෙනවා. අපට ඡන්දය තියන්න වෙන්නේ මුන්ව පන්නලා ජනතාවගේ බලයක් යටතේ. ඡන්දය ලබා දීපල්ලා කියලා බලකරන්නත් ඕනෑ. අපේ මේ අයිතිය දෙන්නේ නැතිනම් මුන්ව පන්නලා එහෙම දේකට වුණත් ලැහැස්තියෙන් ජනතාව පෙළගස්වන වැඩසටහනයි මේ කරගෙන යන්නේ.

පනතට අනුව රටපුරා කිසිම පළාත් පාලන ආයතනයක සභිකයෝ නැතිව යන්න බැහැ. නමුත් නීතිය මුළුමනින්ම උල්ලංඝනය කරලා ව්‍යවස්ථාවට පයින් ගහලා රනිල් රාජපක්ෂලා, පාලනය ගෙනයනවා. එහෙම නම්, මේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී පාලනය පන්නන්න ඕනෑ. ඒ වගේම සභිකයෝ නැතිව රට කරගෙන යනවා නම්, අධිකරණයට යන්න ජනතාවට අයිතියක් තිබෙනවා. අපි අධිකරණයට ගියා. ඡන්දයට සල්ලි මුදාහරින්න කියලා අධිකරණ තීන්දුවක් දුන්නා.

අධිකරණය එහෙම තීන්දුවක් දී තිබියදී ඒ තීන්දුවට පයින් ගහලා අධිකරණයට අපහාස කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු නොකරන පාලනයක් තිබෙන්නේ. ව්‍යවස්ථාව කඩලා, පළාත් පාලන නීති උල්ලංඝනය කරලා යන මේ ගමන භයානකයි. දින නියමයක් නැතිව සභිකයෝ හිස්කරලා යන ගමන තවත් භයානකයි. මේ කරුණු දෙක විතරක් සැලකිල්ලට ගත්තත්, පාරට බැහැලා සටන් කරලා, අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. රටට අලුත් ආරම්භයක් ගන්න විදිහක් නැතිව ඉන්නේ මේ පාලකයින් මැතිවරණය හිරකරගෙන ඉන්න නිසයි. අනික් මැතිවරණවලටත් දැන් අභියෝගයක් එමින් තිබෙනවා. ජනමත විචාරණ කතා කියන්නේ, 1982 ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණයක් තියලා හොර ඡන්දවලින් දිනලා පාර්ලිමේන්තු මැතිවරණය කල්දැම්මා.

එදා සංවර්ධන සභා ඡන්දයේදී විශේෂයෙන් යාපනයේත් රට පුරාමත් භීෂණයක් හැදුවා. පරදී කියන හැමතැනකම, සෑම මොහොතකම රනිල්ලා භීෂණය මුදාහැරලා ඡන්ද කඩාකප්පල් කරලා, පක්ෂ තහනම් කරලා ඡන්දවලින් පැනලා ගියා. දැන් තව පැත්තකින් ජනාධිපතිවරණයක් ගැනත් කියනවා. පොහොට්ටුවේ 2/3ක ඡන්දය අරගෙන රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඉක්මන් ජනාධිපතිවරණයක් ගන්නවාලු. පළාත් පාලන ඡන්දයට පයින් ගහලා වෙනත් ඡන්ද ගැන කතා කිරීම ගැන අපි ආණ්ඩුවට කියන්නේ දින නියමයක් නැතිව කල්දමා තිබෙන පළාත් පාලන ඡන්දය වහාම තියපල්ලා කියලා. මේ ගොල්ලෝ ලෙහෙසියෙන් පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය දිනනවාය කියන තහවුරුව රටේ තිබෙන තුරු මොන ඡන්දයක්වත් ලේසියෙන් තියන්නේ නැහැ. බලෙන් ගන්න වෙන්නේ.

අවුරුදු 75ක් රට පාලනය කළ අයගේ ගමන අවසන් බව දැක දැක ජනතාවට බලය ගන්න ඡන්දයක් දෙන්නේ නැහැ. ලොකු සටනක් කරලා, කඩ සාප්පු වහලා හර්තාල් කරලා, මහජනතාව එකාවන්ව පාරට බැහැලා, ඡන්දය ලබාගන්න වෙන්නේ. අපි හර්තාල් කිහිපයකටත් ලැහැස්ති වෙමු. ජනතාවට ඉන්න රටක් නැති කරපු දුෂ්ට පාලකයන් පන්නන දවස වැඩි ඈතක නෑ.

ජාතික ජන බලවේගයේ අනුරාධපුරය උද්ඝෝෂණ රැලිය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *