කොරෝනා සමාජගත වුණොත් වැඩිහිටි පරපුර බේරගන්න බෑ! – GMOA

October 23, 2020 at 3:28 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය මෙතෙක් සමාජගත වී නොමැති බවත් එසේ සමාජගත වුවහොත් අපේ වැඩිහිටි පරපුර බේරාගත නොහැකි වනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය හමුවක් අමතමින් අද (23) සඳහන් කළේ ලංකාවේ තැන් තැන්වල කොවිඩ් උප පොකුරු මතු වීමේ අවධානමක් රට හමුවේ පවතින බවයි.

කොවිඩ් සටන ජයගත හැක්කේ මෙම උප පොකුරු සෞඛ්‍ය අංශ යටතේ තබාගතහොත් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය දිනවල වැඩි රෝගීන් පිරිසක් හමු වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින් නොව සමාජයෙන් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

PCR පරීක්ෂණ සඳහා භාජනය කරවන කණ්ඩායම් එහි ප්‍රතිඵල පැමිණෙන තුරු රඳවා ගන්නා ආකාරය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් ඒ පිළිබඳ ඒ ඒ ප්‍ර දේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු වගකිව යුතු පාර්ශ්ව දැනුම්වත් කිරීමට ඉහළ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේ ය.

මෙම වසංගත තත්ත්වය සමාජගත වුවහොත් අපේ වැඩිහිටි පරපුර බේරාගත නොහැකි වනු ඇතැයි මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ඔහු අනතුරු ඇඟෙව්වේය. එවිට රෝහල් මෙන් ම රෝහල්වල ඇඳන් ද ප්‍රමාණවත් නොවනු ඇති බවත් වෛද්‍ය කාර්ය මණ්ඩල ද දැඩි ලෙස තෙහෙට්ටු වී යනු ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස