කොරෝනා මැද ඩෙංගු හිස ඔසවයි! මාස දෙකකදී රෝගීන් 1831ක්!

April 30, 2020 at 10:43 am | by emanisa.lk

ඉකුත් මාර්තු මස 01 වැනිදා සිට අද (අප්‍රෙල් 29දා ) දක්වා ගත වූ දින 60 ක කාලය තුළදී  දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1831 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ යටතේ ඉකුත් මාර්තු මාසය තුළදී මින් බහුතර රෝගීන් සංඛ්‍යාව වන 1637 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම මස තුළ මේ දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 294 දෙනෙකු වාර්තා වී ඇති බවත් පවතින කොරෝනා වසංගතය හමුවේ ඩෙංගු රෝගය පැතිරීම වැළක්වීමට දක්වන සැලැකිල්ල කිසිසේත් අඩු කර නොගන්නා ලෙසත්  එම අංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති බැවින්   ඉදිරිකාලය තුළදී  ඩෙංගු මදුරු ගණත්වය වැඩි වී  ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් මේ පිළිබදව  කල් තබාම  සූදානම්විය යුතු බව  බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි..

විශේෂයෙන්ම නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන්වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමෙී ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බවත්, රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර)  නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද,  වසර  අගදී  (ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි ආශ්‍රිතවද වාර්තා වී ඇති බව පසුගිය සංඛ්‍යාලේඛන පිරික්සිමේදී අනාවරණය වන බවද ඇමතිනිය  පෙන්වා දෙයි.

කොරෝනා  වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගයේ  මර්දන  කටයුතු පිළිබඳව අවධානය ගිලිහී ගිය හොත් රට තුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව අද දින (29) ඩෙංගු මර්දනය  සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව ජාතික ඩෙංගු මර්දන  ඒ්කකයේ නිළධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්චජාවකදී  ඇමතිනිය  අනාවරණය කළාය .

පසුගිය සංඛ්‍යා ලේඛණ පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේදී ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවත් ඒම නිසා මෙය මර්දනය  කිරීම සඳහා ක්ෂණික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසටද, කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට තාවකාලිකව ඉදිකිරීම් නවතා දමා ඇති සියලු ඉදිකිරීම් ස්ථාන පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර මදුරු ව්‍යාප්තිය මර්දනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද කඩිනමින් ගන්නා ලෙසට මෙහිදී  ඇමතිනිය   නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය .

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ  වාහක රෝගයන්  අතර ප්‍රධාන තැනක් ගනී. පළමු වරට ඩෙංගු රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තතත්ත්වයක්  පළමුවරට වාර්තා වුයේ 1965-1966 වසරවලදීය. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුළ  සිදුවී ඇත. මෙම තත්ත්වය  මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව