තිදරු පියෙකු වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමිනමක් රිමාන්ඩ්

January 21, 2019 at 8:37 am | by admin

හබරණ පලුගස්වැව උල්පතගම ප‍්‍රදේශයේදී 31 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට සාදන ලද තුවක්කුවක් සමග හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හබරණ පලුගස්වැව ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුලු සැකකරුවන් තිදෙනා මේ මස 31 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත්කරන ලද්දේ හබරණ පලුගස්වැව උල්පතගම උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහසෙන්ගම සුමනරතන, සේනාදිරියාගම බී.එම්. නිමල් බණ්ඩාර, උල්පතගම එච්. ඒ. ජයරත්න යන තිදෙනාය.

උල්පතගම පදිංචි 31 හැවිරිදි තිදරු පියෙකු වන අප්පුගේ සුරේෂ් රවීන්ද්‍ර කුමාර යන අය 2019.01.17 දින හෝ ඊට ආසන්න දිනයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මරණකරු 2019.01.17 දින රාත‍්‍රී උල්පතගම ප‍්‍රදේශයේ පිහිටි තම හේනට පැල් රැකීම සඳහා ගොස් ආපසු නිවෙසට නොපැමිණි බවට ඔහුගේ බිරිය විසින් හබරණ පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමේදී මරණකරුගේ හේන අසල පිහිටි කැලෑවක අභිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ මළ සිරුර පෙරේදා (19) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පෙරේදා (19) පවත්වනු ලැබූ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මඩකලපුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර, පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හබරණ ප‍්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාල මහතාගේ මෙහෙයුම මත විමර්ශන කටයුතු සිදුකළ හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී.කේ. ජයලත් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සැකකාර හිමිනම ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු මේ මස 31 දා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස