කසළ දේශපාලකයන්ට සහ කොන්ත්‍රාත්කාරයන්ට රජ මගුල්! කොළඹ කුණු අරුවක්කාලු යවන්න දිනක ප්‍රවාහන වියදම ලක්ෂ 30යි!

August 13, 2019 at 10:14 pm | by emanisa.lk

කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර පවසයි.

දිනපතා ලොරි රථ 30ක් යොදවා කසළ ප්‍රවාහනය සිදුවන අතර එක් ලොරි රථයක් සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන බවද මෙම ලොරි රථවලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙම එක් ලොරියකට දිනකට යා හැකි ගමන් වාර ප්‍රමාණය එකක් බවද ගෙන යා හැකි ප්‍රමාණය උපරිමය ටොන් 15ක් බවද හෙතෙම සඳහන් කළේය.

නගරයේ ගොඩ ගැසී තිබූ කසළ මෙට්‍රික් ටොන් 3000ක් අතරින් අද වනවිට 1500ක් ඉවත්කර ඇතැයි ද කී කොමසාරිස්වරයා දෛනිකව එකතු වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600ක් බවද පෙන්වා දුන්නේය.

ලොරි රථවලින් කසළ බැහැර කිරීම නිසා අදාළ මාර්ග දැඩි ලෙස අපවිත්‍ර වන බවත් නොයෙක් ලෙඩ රෝග පවා පැතිර යා හැකි බවත් පෙන්වා දෙන අදාළ මාර්ගය අවට වෙසෙන ජනතාව ඒ සඳහා විරෝධය පාති. කසළ ලොරි සඳහා පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදුව ඇත්තේ එහෙයිනි.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මේ සඳහා දුම්රිය මාර්ගයක් තැනීමට සියලු කටයුතු සූදානම් කළ ද වර්තමාන ආණ්ඩුව එම ව්‍යාපෘතිය නතර කළේය. එම දුම්රිය මාර්ගය ඉදිවූයේ නම් බොහෝ අඩු වියදමකට කිසිදු පාරිසරික ගැටලුවක් ඇති නොවන ආකාරයට කසළ බැහැර කිරීමට අවස්ථාව හිමි වන බව මෙම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස