කන්දකාඩු පොකුර නිසා රට වැසිය යුතු නෑ! විය යුත්තේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමයි! – ජාසිංහ

July 16, 2020 at 10:35 am | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් අලුතින් නිර්මාණය වී ඇති කොරෝනා පොකුර හේතුවෙන් රට වසා දැමීමේ තත්ත්වයක් උදා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

කොරෝනා රෝගීන්ගේ සත්‍ය තොරතුරු කිසිදු විටක රජය මඟින් වසන් කිරීමක් සිදු නොකරන බවත් එසේ වසන් කිරීමෙන් කිසිදු යහපතක් රජයටවත්, ජනතාවටවත් සිදු නොවන බවත් ඔහු අවධාරණය කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝනා පොකුරෙන් ආසාදිතයන් 532ක් වාර්තා වී ඇති අතර, ඉන් 25ක්ම නිලධාරීන් වන්නේ යැයි ද, එම පොකුර ආශ්‍රිතව මේ වන විට 3000ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවැසුවේය.

පුද්ගලයන් 12000ක් පමණ ජීවත් වන රාජාංගණය ප්‍රදේශය කොරෝනා තව දුරටත් පැතිර යාම වළක්වමින් තාවකාලිකව හුදෙකලා කර ඇති බවත්, සෙසු ප්‍රදේශවල වෛරසය ව්‍යාප්තිය මේ වන විට පාලනය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු සමාජයේ පැතිර යමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල නොවී තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වඩාත් වැදගත් වන බවත් ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස