උපාධිධාරීන්ට රැකියා දුන්නේ ජනාධිපතිවරණ පොරොන්දු ඉටුකිරීමක් ලෙසයි! එය මැතිවරණ ඉලක්ක කරගත් වැඩසටහනක් නෙමෙයි! – රජය

March 5, 2020 at 10:05 am | by emanisa.lk

උපාධිධාරීන් 42,000කට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීමක් මිස පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නැංවූවක් නොවන බව රජය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මැතිවරණය නිමා වී සතියක් ගත වන තුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිෂන් සභාව කළ දැනුම්දීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ව එස්. හෙට්ටිආරච්චි මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව ඊයේ (04) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුව ප්‍රකාරව පසුගිය පෙබරවාරි සිට අයදුම්පත් කැඳවා සුදුසුකම් මත උපාධිධාරීන් තෝරා ඔවුන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ බවත් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

නමුත් යම් හෙයකින් මැතිවරණ කොමිසන් සභාව මේ උපාධිධාරීන් බඳවා ගැනීම ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් යැයි කල්පනා කරන්නේ නම් මෙම බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය පියවර ගැනීමට සූදානම් බව එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස