ඉන්දියානු බලපෑම් චීන දොඹකර ගොඩබෑම ප්‍රමාද කරයි! දැනටම ලක්ෂ 90 බැගින් කෝටි 10කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවලා!

July 1, 2020 at 1:04 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 25.7ක් ගෙවා චීනයෙන් ගෙන ආ ග්‍රැන්ටි දොඹකර තුන එම පර්යන්තයේ අනිවාර්යෙන්ම සවි කරන බව දැනුම් දී ඊයේ (30) වරායට ගොඩ බෑමට සූදානම් කර තිබුණද හදිසියේම එම කටයුතු නවතා දමා ඇත.

එම දොඹකර තුන ගොඩබෑමට සූදානම් කළ නිසා තම වෘත්තීය සමිති සටන ජයගත් බවට දැන්වීමට ඊයේ (30දා) දහවල් වරාය ස්වාධින සේවක සංගමය මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්විය.

එහෙත් ඉන්දීය බලපෑමක් මත මෙම දොඹකර ගොඩබෑම නැවතුණ බව කර්මාන්ත හා වාණිජ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමාල් ගුණරත්න පැවැසීය. අද (01) වන විට දොඹකර ගෙනා නැවට දිනකට රුපියල් ලක්ෂ අනූව බැගින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස වරාය අධිකාරිය ගෙවා ඇත.

නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට විකිණීමේ සූදානමක් පසුගිය රජයට තිබුණු නිසා දිනෙන් දින මෙම ග්‍රැන්ටි සවි කිරීම ප්‍රමාද වුවත් වත්මන් ජනාධිපතිවරයා දේශීය සම්පත් පිටරටට විකිණීම සිදු නොකරන බවට පොරොන්දු වූ නිසා තමන් ඉතා සතුටට පත් වූ බවත් එහෙත් මෙම තත්ත්වය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත් වෘත්තීය සමිති අවධාරණය කරයි.

මෙම ග්‍රැන්ටි ත්‍රිත්වය සේවා සැපයීම ඇරැඹීම සිදු කළහොත් දිනකට රුපියල් මිලියන දාහතරක් රජයට ආදායම් ඉපයිය හැකි අතර එම ආදායම ජයබහලුම් පර්යන්තය සංවර්ධනයට යොදා ගත හැකි බව වරාය ඉංජිනේරු වෘත්තිය සමිතිය කියා සිටියි. වරායට මෙම දොඹකර ගොඩ බාන ලෙසට බල කරමින් වෘත්තීය සමිති පසුගිය සතියේ වරාය සභාපති කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධව අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හේතුවෙන් ග්‍රැන්ටි දොඹකර ගොඩ බෑම සිදු කළ නොහැකි බව වරාය අධිකාරිය පැවසුවත් එම අවබෝධතා ගිවිසුම පිටු තුනකින් සමන්විත ආරම්භක සහ අවසාන දිනයක් නොමැති ලියවිල්ලක් බවත් එහි වලංගුභාවය මාස තුනක් ලෙසට සඳහන් බවත් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස