ඔබේ හැසිරීම පිළිබඳ අපි මවිතයට පත්වුණා! අපට උපදෙස් දෙන්න කලින් තමන්ගේ රාජකාරිය හරියට කරන්න! – ජනාධිපති ලේකම්ගෙන් මැකොට සැර පිළිතුරක්…

April 9, 2020 at 11:33 pm | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යක් හා සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපියක් තමන්ට ලැබීමට පෙර මාධ්‍ය වෙත ලැබීමත් එය තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන විමතියට පත්වූ බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසයි. ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් ජනාධිපති ලේකම්වරයා විසින් අද (09) දින යොමුකරන ලද ලිපියෙහි එසේ සඳහන් වෙයි.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

මහින්ද දේශප්‍රිය මහතා
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

1- 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.

2- එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.

03 – ඉන් අනතුරුව,

(අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළ කළහ.,
(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,
(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,
(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

අදාළතත්ත්වයන්යටතේස්වාධීනඅපේක්ෂකයෝගණනාවක්සහපිළිගත්දේශපාලනපක්ෂගණනාවක්

(අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
(ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
(ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
(ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්

 
 


Comments are closed.