ආණ්ඩුවේ ගමන කඩාකප්පල් කුමන්ත්‍රණවලට තවත් ඉඩ නෑ…! ජනතාව සමග පාරට බහින්න සූදානම්…!

February 9, 2022 at 7:55 pm | by emanisa.lk

තම ආණ්ඩුව අනුරාධපුරයෙන් ආරම්භ කළ සියලු ම සටන් වාගේ ජයග්‍රහණය කළ බවත් අද අලුත් ගමනක් අනුරාධපුරයෙන් ආරම්භ කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවට එකතු වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

අපි අද අනුරාධපුරයෙන් අලුත් ගමනක් ආරම්භ කරනවා. මට මතකයි එදා 2005 ජනාධිපතිවරණ සටන ආරම්භ කළේ අනුරාධපුරයෙන්. ඊට පස්සෙ යුද්දේ දිනලා 2010 දි දෙවෙනි ජනාධිපතිවරණ සටන අපි පටන්ගත්තෙත් අනුරාධපුරෙන්. ඒ වාගෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සටන ආරම්භ කලෙත් අනුරාධපුරෙන්. ඒ ජනාධිපතිවරණය අති විශිෂ්ට විදියට ජයග්‍රහණය කරලා දිවුරුම් දීම කළෙත් අනුරාධපුරේ රුවන්වැලි සෑය අභියසට ඇවිත්.

යුද්දෙට ගිහින් ජීවිතය පූජා කරපු මේ රටේ සිවු දිසාවෙම වීරයෝ වෙනුවෙන් රණ විරු සෑය ඉදිකළෙත් අනුරාධපුරේ. අපි ජයග්‍රහණය කළ සෑම සටනක්ම ආරම්භ කළේ අනුරාධපුරෙන්. අදත් අපි ඒ වගේ ගමනක් අනුරාධපුරෙන් ආරම්භ කරනවා. මේක මේ මොහොතේ මේ රටට අත්‍යවශ්‍ය ගමනක් බව මම කියන්න ඕනෑ .

ඔබ වහන්සේලා දන්නවා අපි වසර දෙකකටත් වඩා වැඩි කාලයක් මේ ගෝලීය කොවිඩ් වසංගතයත් එක්ක හැප්පුනා කියලා. ඒ මුලු කාලේ පුරාම අපේ අවධානය යොමු කළේ මේ වසංගතයෙන් ජනතාව බේරා ගන්නට. මට මතකයි කොරෝනා වසංගතය ලංකාවට ආපුගමන් විපක්ෂ නායකතුමා ඒකට බෙහෙත් නියම කළා. ලෝකේ කොරෝනාවලට එන්නතක් හොයාගෙන නැති වෙලාවේ ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශත් යොදාගෙන ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව බේරාගන්න කොට විපක්ෂය ලොකු ඝෝෂාවක් කලා ත්‍රිවිධ හමුදාව මේ වැඩේට යොදවන එක වළක්වන්න.

මේක ත්‍රිවිධ හමුදාව නොකල යුතු වැඩක් විදියට හදුන්වලා ජාත්‍යන්තර ‍යට පවා කරුනු කිව්වා. ලෝකෙ එන්නත හොයා ගත්තා විතරයි එන්නත වහාම ගෙන්නන්න කියලා කෑ ගැහුවා. ආණ්ඩුවට එන්නත ගේන්න බෑ කියලා අභියෝගත් කළා. ඒත් අපි මුල්ම එන්නත් තොගය චීනෙන් ලංකාවට ගෙනාවා. එතකොට කිව්වා චීන එන්නත බාලයි ඒ එන්නත ගහන්න එපා කියලා. ලෝකෙ හොඳම එන්නත ෆයිසර් එන්නත බවත් ඒක ගහන්න කියලා අපට බල කළා.

අද වෙනකොට අපි තුන්වෙනි එන්නත විදිහට මුළු රටේම ජනතාවට ෆයිසර් එන්නත ගෙන්නලා තියෙනවා. අද මේ අය කවුරුවත් ඒ ගැන සද්දකරන්නේ නැ.

මේ ගොල්ලන්ට මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්කමක් ලැබුනේ ඇයි. එහෙම කරන්න පුළුවන් වුනේ අපි මුළු කාලේම වසංගතයත් එක්ක හැප්පෙමින් ජනතාව ආරක්ෂා කරමින් අඬබෙර ගහන්නේ නැතුව වැඩ කරපු නිසා. නමුත් එහෙම නිහඬ ව ඉන්න ඉන්න මේ රට අවුලෙන් අවුලට පත් කරන බව අපිට තේරෙනවා.

ඔබ වහන්සේලා දන්නවා ඇති මේ රටේ ගොවියාගේ ප්‍රශ්නය මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂය අවුරුදු තිස් හතලිස් ගාණක් මේ රටේ ආණ්ඩු කරලත් 2005 වෙනකොටත් වී කිලෝවට ලැබුනේ රුපියල් 12 යි නැත්නම් 13 යි. ගොවියො මිලක් නැතිව වහ බිව්වා. එතකොට ඔය කෑ ගහන අය ගොවියො බලන්න හිටියෙ නෑ. 2005 න් පස්සේ අපි වී කිලෝවට රුපියල් 25 ක් ගෙව්වා. පොහොර රුපියල් 350 ට දුන්නා. පොහොර රුපියල් 350 ට දෙන්න හදනකොට එහෙම කරන්න මහින්ද රාජපක්ෂට ඇලඩින්ගේ පුදුම පහන හම්බවෙලද කියලා ඒ දවස්වල අභියෝග කළා. අපි ඇවිත් පොහොර රුපියල් 350 ට දීලා ගොවියගෙනුත් රුපියල් 25 ට වී කිලෝව එදා මිල දී ගත්තා. මෙදා අපි ඇවිත් පොහොරවලට සහනත් දීලා වී කිලෝව රුපියල් 55 ට ගත්තා. ඉතිහාසේ ගොවියට ලැබුණු හොඳම සහනය ලැබුණේ මේ ආණ්ඩුවෙන්. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. අද මේ රටේ ගොවියගෙ ඉන්න පරම හතුරා අපේ ආණ්ඩුවයි කියලා විපක්ෂේ උදවිය කියනවා.

එදා මට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ මේ රටට වී වැඩියි කියලා කුඹුරු අක්කර ලක්ෂ දෙකක් වගා කිරීම නතර කළා. මත්තල වී ගබඩා කළා. වී විදේශ වලින් ගෙන්නන්න පුළුවන් කියලා තීරණේට ඒ ගොල්ලෝ ඇවිල්ලා තිබුනා. එහෙම කළ අය ගොවියො අතරට ගිහින් මෙච්චර ගොවියට සහන දීපු අපිව ගොවියගේ පරම හතුරා කරලා ඉවරයි. එහෙම වුනේ ඇයි කියලා අපි තෙරුම් ගන්න ඕනෑ .

ආණ්ඩුව සෞඛ්‍ය නීති රකින්න ඕන. රෝගීන්ට නිරෝධායන මධ්‍යස්ථාන හදන්න ඕන. ලක්ෂ ගනන් රෝගින්ව රජයේ රෝහල් වල ආරක්ෂා කරන්න ඕන. එන්නත් දෙන්න ඕන. ආණ්ඩුව ඒවා කරන අතරේ විපක්ෂයට ජනාධිපති මන්දිරය වට කරන්නත් ඉඩ දෙන්න ඕන. මහපාරේ පෙළපාලි යන්න, උද්ඝෝෂණ කරන්නත් ඉඩ දෙන්න ඕන.

ඒ වගේම රටට ද්‍රෝහී බලවේග වලට ලොකු ඕනෑ කමක් තිබුන රට වහන්න. රට වහන්නේ නැත්නම් විපක්ෂය එකතුවෙලා ස්වයං ලොක්ඩවුන් එකකට යනවා කියලා බල කළා. ආණ්ඩුව ජනතාව ගැන හිතලා රට වැහුවාම විපක්ෂය කිව්වා ඇඟළුම් ආයතන විවෘත කරලා තියෙන එකෙන් රටේ කොරෝනා පොකුරු හැදෙනවා කියලා. ඇගළුම් ආයතනත් වැහුවාම දැන් කියනවා අපනයනය කඩාවැටිලා, ආර්ථිකය කඩාවැටිලා රටට ඩෙලර් නෑ කියලා.

අපි කොරෝනාවෙන් පීඩාවට පත් වෙච්චි ජනතාවට කීපවරක් රුපියල් 5000 බැගින් ලබාදුන්නා. රජයේ සේවකයින් හැමදෙනාටම රුපියල් 5000 ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. ඒ වැටුප් වැඩිවීම ලබාදුන්නාම විපක්ෂය අහනවා ආණ්ඩුව එහෙම කරන්නේ අම්මගේ අප්පගේ බූදලේ වියදම් කරලද කියලා.

අපි තේරුම් අරගන්න ඕන වසර දෙකක් තිස්සේ මේ රටේ ගොවියා කුලප්පු කළේ, මේ රටේ ගුරුවරු කුලප්පු කරලා පාරට ගෙනාවේ, රාජ්‍ය සේවකයින්ව වර්ජන බිමට ඇදගෙන ආවේ කවුද කියලා .

ආණ්ඩුව ආව මොහොතේ ඉදන් ආණ්ඩුව පටන් ගන්න හැම වැඩක් ම නතර කරවන්න කුමන්ත්‍රණ කරනවා. ඉදිරි වසර තුනත් ඒ විදියට ම අවුල් කරන්න තමයි මේ සූදානම. අපි ඒකට මූණ දෙන්න යි මේ සූදානම් වෙන්නෙ. මතක තියාගන්න අපිටත් මහපාර හුරුයි. අපිටත් ගොවිබිම් හුරුයි. අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි. අපිටත් පාදයාත්‍රා ගිහිල්ලා පුරුදුයි. අපිත් දැන් පාරට එනවා. අපිත් කම්කරුවෝ අතරට යනවා. ගොවියෝ අතරට යනවා. ජනතාව අතරට යනවා. අපිත් ඒ අභියෝගයට අභියෝගයෙන් මුහුණ දෙනවා.

එදා යහපාලන ආණ්ඩුව දේශපාලනය පටන්ගත්තේ, දේශපාලන ප්‍රතිවාදීන් සියලු දෙනාව හිර ගෙවල් වලට කූඩු කරලා. බොරු නඩු දාලා. ඔබවහන්සේලාට මතකයි ජනාධිපති ලේකම්ව හිරේ දැම්මා. රජයේ සේවකයෝ සෑහෙන ගණනක් හිරගෙවල්වලට දැම්මා. භික්ෂුන් වහන්සේලාව හිර ගෙවල්වලට යැවුවා. හමුදා නිලධාරින්ව හිරගෙවල්වලට යැවුවා. ඒ සියලු දෙනාට බොරු නඩු ඇටෙවුවා. හමුදාවේ ඉන්න සියලු දෙනා යුධ ඝාතකයෝ කියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ අයට විරුද්ධව යෝජනාවලට අනුමැතිය දුන්නා. අරලියගහ මන්දිරයට UNP එකයි JVP එකයි යහපාලන නායකයෝ යි එකතුවෙලා නීතිපති දෙපාර්තමේනතුවේ නිලධාරින් ගෙනල්ලා විරුද්ධ පක්ෂයේ අයව හිරේ දම්මන්න බල කළා. විනිසුරුවන්ට රෑ තිස්සේ කරපු බලපෑම්, දුරකථනයෙන් කරපු බලපෑම් රංජන්ගේ හඬපට වලින් එලියට ආවා.

ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ පවුලක් මෙල්ල කරන්න. ඒ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ හාමුදුරුවෝ හිටියේ නෑ. කම්කරුවෝ හිටියේ නෑ වෘත්තීය සමිති නායකයෝ හිටියේ නෑ. පොදු ජනතාවගේ නියෝජිතයෝ හිටියේ නෑ. වැඩිපුර හිටියේ NGO සංවිධාන වල නියෝජිතයෝ. ඒ විතරක් නෙමෙයි මට මතකොයි අයවැය හදලා රාජපක්ෂ බද්ද කියලා බද්ද ක් ගැහුවා. අන්තවාදය හැම පැත්තකින්ම හිස එසෙව්වා. කාටවත් ජීවිත ගැන විශ්වාසයක් තිබුනේ නෑ. පාස්කු ප්‍රහාරය එයට හොඳම උදාහරණයක්. ජාතික ආරක්ෂාව බිංදුවටම වැටුනා. උතුරේ භික්ෂුන් වහන්සේ නමකගේ දේහය ආදාහනය කරන්නත් අධිකරණ නියෝග ගන්න සිද්දවුනා. එහෙම තිබුණු රටකට අද අපි නිදහස ගෙනල්ලා දීලා තිබෙනවා .ඒ නිදහස අද විපක්ෂය කුමන්ත්‍රණකාරීන්ගේ අතකොළුවක් බවට පත්කරගෙන තියෙනවා. අපි දැන් අදින් පස්සේ ඒකට ඉඩ තියන්නේ නෑ. අපිත් ඒ නිදහස ප්‍රයෝජනයට අරගෙන අපිත් පාරට එනවා. පුළුවන්නම් කුමන්ත්‍රණ වලින් නෙමෙයි ජනතාව අතරට ඇවිල්ලා අපිත් එක්ක මේ සටන කරලා දිනන්න කියලා අපි මේ රටට එරෙහි විරුද්ධ බලවේගවලට අද ඉදන් අභියෝග කරනවා.

අපි කවදාවත් ඡන්ද පරාද වෙයි කියලා තීන්දු තීරණ ගත්ත උදවිය නෙවෙයි. ඊළඟ ඡන්දෙන් පරාද වෙයි කියලා බයේ රට ගැන තීන්දු නොගෙන ඇරියනම් මේ වෙනකොට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නෑ. එදා නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය හදන්න ගියාම දැවැන්ත විරෝධයක් මතු කළා. නමුත් අපි ඡන්ද ජයග්‍රහණය ගැන හිතන්නේ නැතුව රට වෙනුවෙන් නොරෙච්චෝලේ බලාගාරය හැදුවා. ඊළඟ ඡන්දයෙන් අපිව පරාද වෙයි කියලා, පරාද කරවයි කියලා බයක් තිබුනා නම් වරාය නගරයත් මේ රටට නෑ. හම්බන්තොට වරායත් මේ රටට නෑ.

ඊළඟ ඡන්දය ගැන හිතුවනම් LTTE ත්‍රස්තවාදයට එරෙහිව යුධ වදින්න අපි සූදානම් වෙන්නෙත් නෑ. අපි දැනගෙන හිටියා ඒ දේවල් කරනකොට දේශීය ප්‍රතිවාදීන් ජාත්‍යන්තරයට ගිහිල්ලා කරන දේවල් මොනවද කියලා. අපි දේශපාලන තීන්දු ගන්නකොට ඊළඟ ඡන්දෙන් දිනයිද පරදියිද කියලා හිතලා තීන්දු ගන්න අය නෙමෙයි. ඒ වගේම මේ ආණ්ඩුවත් ආනයන සීමා කරන්න තීරණය අරගත්තා. අපි දැනගෙන හිටියා ඒක අභියෝගයක් වෙලා අපිට එනවයි කියලා.

කාබනික පොහොර ගොවිතැනට මුළු රටටම හරවනකොට අපි දැනගෙන හිටියා මේ වගේ අභියෝගයකට අපිට මුහුණ දෙන්න සිද්ද වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි MCC ගිවිසුම අත්සන් කරන එක ප්‍රතික්ෂේප කරනකොටත් අපි දැනගෙන හිටියා මේ අභියෝගය අපිට එයි කියලා. ඒත් අපි අපේ රට ගැන හිතලා තීන්දු ගන්නවා. ඊළඟ ඡන්දේ ගැන හිතලා තීන්දු ගන්න මිනිස්සු නෙමෙයි අපි. රටට වැදගත් නම් ඒ තීන්දුව ඒ වෙලාවේ අරගන්නවා. ගරු ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙල අරගෙන අපි ඔබ ඉදිරියට එන්න අද ඉදන් පටන් ගන්නවා . කුමන්ත්‍රණ අත හැරලා ජනතාව අතරට ඇවිත් අපිත් එක්ක සටන් කරලා පුලුවන් නම් දිනන්න කියලා විපක්ෂයට අභියෝග කරමින් මා නිහඬ වෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස