පෙර රජ දවස මෙන් අපේ ආණ්ඩුවත් භික්ෂූන්ගේ සුරක්ෂාව වෙනුවෙන් කැපවෙනවා! – අගමැති

June 27, 2019 at 9:48 am | by emanisa.lk

පෙර රජ දවස මෙන් භික්ෂූන් වහන්සේලාගේ සුරක්ෂාව වෙනුවෙන් වර්තමාන රජය කැප වී සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. මේ සඳහා රු. මිලියන 7000ක් පමණ වියදම් කළ බවත් ඒ පිළිබඳ තමන් ආඩම්බර වන බවත් හෙතෙම පැවසීය.

භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ” හිමිකම්පත් ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට අරලියගහ මන්දිරයේදී ඊයේ (26) එක්වෙමින් අගමැති මේ බව ප්‍රකාශ කළේය.

භික්ෂු රක්ෂණය ලබාදීම සංකේතවත් කරමින් දෙදහසක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනැමුනු අතර මේ සඳහා මහානායක හිමිවරු, අනුනායක හිමිවරු ඇතුලූ මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.

“බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය” අදියර තුනක් යටතේ ක‍්‍රියාත්මක බවත් එහි පළමු අදියර ලෙස සියලුම භික්ෂූන් වහන්සේලා රක්ෂණය කරන බවත් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවැසීය.

“බුදුපුත් සුරක්ෂා රක්ෂණය” මගින් භික්ෂූන් වහන්සේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීමේදී රුපියල් ලක්ෂ දෙකක උපරිමයකුත්, රජයේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමේදී දිනකට රුපියල් තුන්දහසකුත්, හදවත් සැත්කම් සඳහා උපරිමය ලක්ෂ දහයක මුදලකුත්, පිළිකා රෝග සඳහා උපරිමය ලක්ෂ පහක මුදලකුත්, වකුගඩු රෝග සහ මොළයේ සැත්කම් සඳහා උපරිමය ලක්ෂ දොළහක මුදලකුත් ඇතුලු රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස