අර්ථ සාධක බද්දට ආණ්ඩුවේ පළුවක් ම එරෙහි වෙයි…!

February 11, 2022 at 7:43 pm | by emanisa.lk

සේවක අර්ථසාධක අරමුදලෙන් (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (ETF) සියයට 25 අධිභාර බද්දක් අයකිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි.

මේ වන විට විදෙස්ගතව සිටින පක්‍ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි මෙරටට පැමිණි පසු පක්‍ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ පරිපාලන කමිටුව එක්ව මේ ගැන සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම අරමුදල්වලින් අධිභාර බද්දක් අයකර ගැනීමේ යෝජනාවට විෂය භාර ඇමතිවරයා ද විරුද්ධත්වය පළ කර ඇතැයි කී ශාන්ත බණ්ඩාර, එය සාර්ථක වනු ඇතැයි තමන් නොසිතන බව ද කීවේය.

ශාන්ත බණ්ඩාර මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම බද්ද වැඩකරන ජනතාවට විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක් බැවින් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා සමඟත් ඒ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස