අයවැයේ ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමේ සැලසුමක්! අයවැය අහන්න මුල් වරට පාර්ලිමේන්තුවටත් නො එයි!

March 6, 2019 at 12:33 pm | by admin

මාර්තු 13 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ ප්‍රබල බෙදීමක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, පාලිත රංගේ බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන, හේෂා විතානගේ, චමින්ද විජේසිරි මහාචාර්ය ආශු මාරසිංහ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

නමුත් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි, එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක් පවසන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ක්‍රියා නොකරන බවයි. එවැනි තීරණයක් එක්සත් ජාතික පක්‍ෂය විසින් ලබා ගෙන නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කිරීමට අගමැතිවරයා ඉඩ නොතබන බවය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කළහොත් එය ආණ්ඩුවේ අවසානය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

කෙසේ වුවද 2015 සිටම අයවැය අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා මෙවර අයවැය අවස්ථාවට නොපැමිණිම ද කැපී පෙනිණි. මේ පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අයවැයට පසු තේ පැන් සංග්‍රහය අවස්ථාවේ ද සාකච්ඡා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස