අපි කිසිම සතෙක් මරන්නේ නෑ! මස්වලින් කෑම වර්ග හදනවා විතරයි! – නාමල් කටුනායක විවෘත කළ ෆැක්ට්‍රියේ සභාපති…

December 20, 2020 at 11:14 pm | by emanisa.lk

තම ආයතනය තුළ සතුන් නො මරණ බවත් මස් ආනයනය කර ඒ ඇසුරින් වෙනත් නිෂ්පාදන සිදු දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කරන බවත් පසුගියදා කටුනායක දී විවෘත කළ Gills International ආයතනයේ සභාපති රොෂාන් සොයිසා පවසයි.

ලීඩර් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තම කර්මාන්තශාලාවට අවශ්‍ය කුකුල් මස් දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ද හරක් මස් බ්‍රසීලයෙන් ආනයනය කරන බවයි.

“මම සත්තු මරන්නේ නැහැ. මස් ගෙනෙල්ලා රසට පිළියෙළ කරනවා විතරයි. අනෙක මම හරක්මස් කන්නේ නැහැ.මේ රටේ ගවයින් මරණ ආකාරය මට කිසිම ආකාරයකින් අනුමත කරන්න බැහැ. අපේ රටේ ගවයෙක් මරන්නේ, කකුල් හතර ගැටගහලා හිසට යකඩ පොලුවලින් පහරදීලා. එකෙන් ඒ මස් විෂවෙනවා කියල කියනවා. පිටරටවල ගවයින් මරන්නේ උන්වත් නොදන්නා විදියට. ඒ නිසා මම ගවමස් ගේන්නේ පිටරටින් විතරයි.

අපේ කම්හලේ ගවයින් මරන බවට පලවී තිබෙන වාර්තා මුළුමනින්ම අසත්‍යයි. මෙහි කිසිම සත්වයෙක් මරන්නේ නැහැ, මරලත් නැහැ. එහෙම අදහසකුත් නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිත් ඒගැන සොයා බලන්න පුළුවන්. මේ ආයතනයෙන් කෙරෙන්නේ පිටින් ගෙනෙන මස්, සකස්කරලා දේශීය වෙළඳපොළට හා විදෙස් රටවලට ආනයනය කිරීම ම පමණයි.

මෙම ආයතනය අගය එකතු කරන ලද (Value Added) මාංශ සහ නිර්මාංශ ආහාර වන සොසේජස් වර්ග, මීට් බෝල්ස්, හැම්, බේකන්, නගට්ස්, ඩ්‍රම්ස්ටික්, චයිනීස් රෝල්ස් ඇතුළු නිෂ්පාදන වර්ග 400 ක් පමණ සකසයි.

ඔවුන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ජනප්‍රිය කොච්චි සොසේජස්, කලු පොල් සොසේජස්, කරපිංචා සොසේජස්, සුදු ලූණු සොසේජස් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති අතර, විශේෂයෙන්ම මාළු ආශ්‍රිත සොසේජස් නිෂ්පාදනය කරන එකම ආයතනය ද ගිල්ස් ආයතනය වන අතර සෞඛ්‍යයට හිතකර නිර්මාංශ සොසේජස් නිෂ්පාදනයට ද ඔවුන් කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික අවන්හල් ප්‍රමුඛ පෙලේ තරු පන්තියේ හෝටල් මෙන්ම අවන්හල්, ජාතික සහ අන්තර්ජාතික ගුවන් සේවා සඳහා ආහාරපාන සේවා සපයන ආයතනයන් සඳහාද ඔවුන්ගේ නිෂ්පාදන සැපයීම දශකයකට වැඩි කාලයක් ඔවුන් විසින් සිදු කරමින් පවතී.

අලුත් ෆැක්ටරියක් ආරම්භකරනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හා රාජ්‍ය මූල්‍ය ආයතන වල මූල්‍ය සහයෝගයෙන් බවද රොෂාන් සොයිසා පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *