අටළුගම ජනතාවගෙන් පරීක්ෂණවලට බාධා! උණ රෝගීන් භාගයක් PCR නොකර හැංගිලා! – හමුදාපතිගෙන් චෝදනා….

November 28, 2020 at 1:22 pm | by emanisa.lk

අටළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

බොරු ලිපින ලබා දීම්, නිලධාරින් නිවාසවලට ගිය විට මග හැරීම්, පි.සි.ආර් පරීක්ෂණවලට සහභාගී නොවීම් වැනි දෑ සිදු කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව ක්‍රියා කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

එසේ නො කර සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා වගකීමෙන් සහය ලබාදෙන මෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බව ද නිවාසවලට පැමිණ හොරු අල්ලනවා සේ මෙම කාර්ය කළ නො හැකි බවද හෙතෙම පැවසීය.

පසුගිය දින කිහිපයේ දී ම එම ජනතාව මෙම කාර්යයේ දී දැක්වු සහය අවම බවත්, උණ රෝගයෙන් පෙලෙන සංඛ්‍යාවෙන් හරි අඩක්වත් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

ඉදිරියටත් මෙය මෙසේ සිදුවුහොත් හුදකලා කිරිමේ කාර්ය සැලකියයුතු කාලයක් කිරිමට සිදුවන බව ද කීවේ ය. එමෙන් ම ඉදිරියේ දී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරිමට සැලසුම් කර ඇති බවද යුද හමුදාපතිවරයා කීවේ ය.

මෙම සිදුවීම ඉතාමත් අවාසනාවන්ත යැයි ද පැවසු යුද හමුදාපතිවරයා ⁣සෞඛ්‍ය පිළිබඳ මෙවැනි ගැටලුවක දි සහයෝගය දක්වමින් වගකීමෙන් කටයුතු කර ජනතාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් විය යුතු යැයි ද සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස