අගමැති මහජන සෞඛ්‍ය පරික්ෂක සංගම් සාකච්ඡා සාර්ථකයි! වර්ජනය හෙට උදෑසන නිමයි!

July 28, 2020 at 5:41 pm | by emanisa.lk

අගමැතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එකඟ වී තිබේ.

ඒ අනුව හෙට (29) උදෑසන 7.30 මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ඔවුන් සඳහන් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමක දී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාව පළ කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන් මෙම එකඟතාවන්ට පැමිණ තිබේ.

ඒ අනුව රාජකාරී කටයුතු සිදු කිරීමේ දී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාව හිමි විය.

මෙහිදී මහජන පරීක්ෂක සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද එම සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස