සීනි බදු අඩු කිරීමෙන් මගේ මූලික අයිතිවාසිකම් කැඩුණා…! වහා ම රු. කෝටි 50ක වන්දියක් මට ගෙවනු….! – හිටපු කෝප් සභාපති හඳුන්නෙත්ති ශ්‍රේෂ්ඨාධිකරණයට…

March 13, 2021 at 8:46 am | by emanisa.lk

කිලෝවකට රුපියල් 50ක් ලෙස තිබූ සීනි බද්ද ශත 25 දක්වා අඩුකර මෙරටට සීනි ආනයනය කිරීමෙන් රජයට අහිමි වූ රුපියල් කෝටි 1595කට අධික බදු මුදල් වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එම ක‍්‍රියාවලියේ දී රජයට එවන් අතිවිශාල බදු මුදලක් අහිමි කළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නීතිඥ සුනිල් වටගල මගින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක, ජෙරමිඩ් විල්මාර් ප‍්‍රයිවට් ලිමිටඩ් අධ්‍යෂ සජාත් මවුසූන්, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ, හිටපු සතොස සභාපති නූෂාඩ් පෙරේරා හා නීතිපතිවරයා නම්කර ඇත.

සීනි කිලෝ එකක් ආනයනය කිරීමේ දී පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ බදු මුදල රජය විසින් පසුගිය ඔක්තෝබර් 13 වැනිදා ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් පමණක් සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් ආනයනය කර ඇති බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ සුනිල් හඳුන්නෙත්ති සීනි කිලෝවක උපරිම මිල රුපියල් 85ක් විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව එලෙස බදු සහන ලබාදීම අනුව එකී ක‍්‍රියාවලිය දේශපාලන අනුග‍්‍රහය අනුව සිදුවූවක් බව පෙනී යන්නේ යැයි ද අධිකරණයට දන්වා තිබේ.

එබැවින් එලෙස ක‍්‍රියාකිරීමෙන් මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ රුපියල් 15,951,598.74ක මුදලක් රජයට අහිමි වී ඇති බැවින් එලෙස අහිමිවූ බදු මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැරකර ගැනීම සඳහා නිසි පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරනා ලෙස ද අධිකරණයෙන් ඉල්ලා ඇත.

එකී ක‍්‍රියාවලිය මගින් තමන් ඇතුළු රටේ පොදු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙසත් තමන්ට රුපියල් කෝටි පනහක වන්දියක් ගෙවීමට මුදල් අමාත්‍යවරයා ඇතුළු මුල් වගඋත්තරකරුවන් පස්දෙනාට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා ඇත.

2020.10.13 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් එලෙස සීනි බදු මුදල් සියයට 99.5කින් අඩුකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනා විටත් පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනය කළ සීනි මෙටි‍්‍රක් ටොන් 10,147ක ප‍්‍රමාණයක් ගබඩා කොට තිබූ බව ශ‍්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ වාර්තා අනුව පැහැදිලි වන්නේ යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙන්ම කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස වසර පහකට ආසන්න කාලයක් කටයුතු කළ සුනිල් හඳුන්නෙත්ති මහතා අධිකරණයට දන්වා තිබේ.

රජයට අයවීමට තිබූ එවැනි විශාල බදු මුදලක් අහිමි කිරීම වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස රටේ ජනාධිපතිවරයාද ඔහු සතුව තිබූ රාජකාරි වගකීම් පැහැර හැරීමක් සිදුකර ඇති නිසා ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා සිය පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇතැයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

සිය පෙත්සමේ 5 වැනි විත්තිකරු ලෙස නම්කොට ඇති ජෙරමිඩ් විල්මාර් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන සජාත් මවුසුන් නමැත්තා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ හිමිකරු හෝ ප‍්‍රධාන පරිපාලකයා වන බවත් පසුගිය ජනාධිපතිවරණයේ හා පාර්ලිමේන්තු මැතිවරණයේ මෙහෙයුම් කටයුතු ෂැංග‍්‍රිලා හෝටලයේ දී පැවැත්වීම නිසා ඔහුගේ සමාගමට එලෙස අයුතු සහගත ලෙස බදු සහන වාසියක් ලබා ගැනීමට ඉඩ දී ඇති බවත් අධිකරණයට දන්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස