සීනි බද්ද සත 25ට අඩු කළේ සභාපතිගේ මිත්‍රයා සතුටු කරන්න! – අනුර දිසානායක

December 5, 2020 at 9:52 am | by emanisa.lk

සීනි කිලෝ එකකට අය කළ ආනයනික බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා හිටි හැටියේ අඩු කළේ සතොස සභාපතිගේ මිත‍්‍රයා සතුටු කිරීමට බවත් ආණ්ඩුව තමන්ට උදව් කළ කුප‍්‍රකට ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බවත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එකතු වෙමින් ඔහු මෙසේ පැවසීය.

“සීනි කිලෝ එකක් වෙනුවෙන් එතෙක් තිබූ බද්ද වන රුපියල් 50 බද්ද රුපියල් 49.75 කින් අඩු කළා. එහි ගැසට් එක මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය ඔඛ්තෝබර් 23 වැනිදා නිකුත් කළා. ඊට පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගැසට් එකක් නිකුත් කළා. එදින සිට ටින් මාළු රුපියල් 200කට ද ලොකු ලූනු රුපියල් 100 කට ද, සීනි රුපියල් 85 කට ද මිලදී ගත හැකි බවට. හැබැයි ඒ බදු ගේන කොට ගබඩාවල කාගේ සීනි ද තිබුණේ? සීනි මෙට්‍රික් ටොන් 9000ක් තිබුණා එදාම ඒ ටික එළියට දැම්මා.

ඒ සීනි රුපියල් 92 ගානේ සතොස මගින් මිල දී ගත්තා. ඔහුගේ මිත‍්‍රයාගේ සීනි. තවත් සීනි මෙට්‍රික් ටොන් 26000 ක් ගෙනාවා. මේ 26000 ටත් බද්ද ගැහැව්වේ ශත 25 බැගින්. දැන් පාරිභෝගිකයාට කොහෙන් හරි 85 ට සීනි තිබෙනවද? බද්ද අඩුවීමේ වාසිය ජනතාවට ගියාද? ආණ්ඩුවට ඒ බද්ද ලැබුණද? ආණ්ඩුවට ලැබෙන්න ඕන ඒ බද්ද ගියේ කාටද? සතොස සභාපතිවරයාගේ හොඳම මිත‍්‍රයාට තමයි ඒ වාසිය ගියේ.

රුපියල් 50 ක් සීනි කිලෝවට තිබුණු බද්ද ශත 25ට ගෙනාවේ ඇයි? ආණ්ඩුවේ භාණ්ඩාගාරයට පැමිණි ආදායම කාටද ගියේ? සතොසෙත් සීනි 85 ට නැහැ. වෙළෙඳ ඇමැති බන්දුලත් අසරණයි. පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා ඉන්නේ. ඒ අයට තමයි ආණ්ඩුව දැන් සලකන්නේ.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *