සබිතාගේ බිල්ඩිමෙන් වැඩක් අරගෙන නෑ! බිල්ඩිම ගන්න ටෙන්ඩර් කැඳවලත් නෑ! කෝටි 210ක් වතුරේ! ශ්‍රිලනිප ඇමතිලාගේ වගකීම ජනපතිටයි! – අගමැති ජනපති කොමිසමට කියයි….

September 17, 2019 at 10:52 am | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රාජගිරිය ඩී.පී. ජයසිංහ ගොඩනැගිල්ලට මේ වන විට ගෙවා ඇති රුපියල් කෝටි 210ක ( කුලී මුදලින් සම්පූර්ණ ප්‍රයෝජනයක් ලැබී නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (16වැනිදා) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැති බව කොමිසම හමුවේ පිළිගත් අගමැතිවරයා මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක්ද කර නැතැයි කීවේය.

ප්‍රධාන තක්සේරුකරුගේ වටිනාකමට වඩා රුපියල් ලක්ෂ හැත්තෑපහක් වැඩියෙන් මාසික කුලිය ලෙස මෙම ගොඩනැගිල්ලට ගෙවන බව පිළිගත් අගමැතිවරයා වාහන අංගණය සමගින් තට්ටු හතකට පමණක් නිර්දේශ කර ඇති මෙම ගොඩනැගිල්ල නීතියට පිටින් යමින් තට්ටු දහයක් ඉදිකර ඇතැයිද ඒ අනුව, නීත්‍යනුකූල නොවන තට්ටු කිහිපයකටද රජයෙන් බදු කුලී ගෙවන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ගොඩනැගිල්ල බදු ගැනීමට පෙර ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නැතැයි කී අගමැතිවරයා මෙහි බිම් සකස් කිරීම සහ කාර්යාල උපකරණ සඳහාද රුපියල් මිලියන 402.5ක මුදලක් ලබාගෙන ඇතැයි ප්‍රකාශ කළේය. මෙම ගොඩනැගිල්ලේ පදිංචියට යාමට පෙරද මාස දහසයක කාලයක් සඳහා රුපියල් මිලියන 21 බැගින් කුලී ගෙවා ඇති බව පිළිගත් අගමැතිවරයා මිත්‍රත්වය නිසා මීට වගකිව යුතු ඇමැතිවරයා ගැන සඳහන් කළ නොහැකි බවද කීය.

බදු ගිවිසුමක් අත්සන් කළ යුත්තේ වසර තුනක කාලයක් සඳහා වුවත් මෙම ගොඩනැගිල්ල සඳහා වන ගිවිසුම වසර පහක කාලයක් සඳහා අත්සන් කර ඇති බවද මෙහිදී හෙළි විය.

සිව්වන සහ පස්වැනි වසරවලදී බදු මුදල සියයට පහළොවකින් වැඩිකිරීමට එකඟ වී ඇති අතර කිසි ලෙසකින්වත් වසර පහ ගතවීමට පෙර ගිවිසුම අවලංගු කිරීමට නොහැකි බවට කොන්දේසියක්ද ඇතුළත් කර ඇත.මෙම ගොඩනැගිල්ල බෙදුම් නඩුවක කොටසක් බවත් උපාලි ජයසිංහට හැ​ර අනෙක් පාර්ශ්වයට මෙම ගොඩනැගිල්ල අයිති වුවහොත් අමාත්‍යාංශය ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ගොඩනැගිල්ලට ගිය පසු ප්‍රශ්න රැසක් ඇති වූ බවද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද කර ඇති බවට පිළිගැනීමට ඉඩකඩ ඇතැයිද අගමැතිවරයා කීවේය.

ඇමැති දුමින්ද දිසානායක සම්බන්ධයෙන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට බවත් තමන්ට වගකීම ඇත්තේ එජාප මැති ඇමැතිවරුන් පිළිබඳ පමණක් බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස