ෂියා මුස්ලිම් නිකායේ බෝරාවරු යනු කවුද? ඔවුන් ලංකාවේ බහුල සුන්නිවරුන්ගෙන් වෙනස් වන්නේ කෙසේද? – බෝරා මුස්ලිම්වරුන්ගේ ඉතිහාස කතාව මෙන්න…

September 4, 2019 at 4:14 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයත් සමග මෙරට සංචාරක හෝටල් මැස්සන් ඇහිරෙන්නට වූ නමුත් මේ දිනවල නම් මේ හෝටල්වල ඇඟිල්ලක් ගසන්නටවත් ඉඩක් නැත. විශේෂයෙන්ම කොළඹ සිට කළුතර දක්වාත්, කොළඹ සිට මීගමුව දක්වාත් සියලුම සංචාරක හෝටල් පාහේ අමුත්තන්ගෙන් පිරී ගොසිනි. නිට්ටඹුව හා අවිස්සාවේල්ල ප්‍රදේශවල සංචාරක හෝටල්වලද තත්ත්වය එසේමය.

මීට ​හේතුව මේ වනවිට විසි දහසකට අධික විදේශිකයන් පිරිසක් මෙරටට පැමිණ සිටීම නිසාය. විශේෂත්වය වන්නේ ලොව පුරා රටවල් 40කින් පමණ පැමිණ සිටින මේ පිරිස එකම ජනවර්ගයකට අයත්, එකම ආගමක් අදහන්නවුන් පිරිසක් වීමය.

මේ පිරිස හැඳින්වෙන්නේ බෝරාවරු නමිනි. වසරකට වරක් පැවැත්වෙන ඔවුන්ගේ ලෝක සමුළුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීය.

අද (01) ආරම්භ වන මෙම සමුළුව ලබන දහවනදා (10) දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව හරහා ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක පමණ ආදායමක් ශ්‍රී ලංකාවට උපයා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට පෙර 2008 වසරේදී මෙම බෝරා සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වා ඇත. මේ සමග පළවන්නේ ‘අපි නොදන්නා ශ්‍රී ලාංකිකයෝ’ යන මැයෙන් මාධ්‍යවේදී නුවන් ගන්කන්ද සම්පාදනය කළ ග්‍රන්ථයට ඇතුළත් වූ බෝරාවරුන් පිළිබඳ ලිපියයි.

ලොරෙන්සෝද අල්මේදාගේ නෞකාව කුණාටුවකට හසුව ගාලු වරායට අහම්බෙන් පැමිණියාට වර්ෂ 325කට පසුව එනම් 1830දී තවත් නැවක් කුණාටුවකට හසුව ගාලු වරායට අහම්බෙන් සේන්දු වූයේය. බටහිර ඉන්දියාවේ ‘මානවී’ නම් වරායේ සිට මාලදිවයින් බලා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නැවක වූ මේ නැවෙන් ගාලු වරායට ගොඩ බැස්සේ ‘ජැෆර්ජි ඊසාජි’ නම් ගුජරාටයේ වෙළෙන්දෙකි. ගුජරාටයේ වෙළෙඳාම සිය ජීවන වෘත්තිය කරගත් ‘බෝරා’ නම් ජනවර්ගයට අයත් වූ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම බෝරා ජාතිකයාය.

ජැෆර්ජි ඊසාජි නම් වූ මේ බෝරා ජාතික වෙළෙන්දා ඉන්දියාවෙන් මාලදිවයිනට සහල් සහ මාලදිවයිනෙන් ඉන්දියාවට කරවල වෙළෙඳාමේ යෙදුණෙකි. ‘කොතන ගියත් හිඟන්නාට හිඟමනුත්, වෙළෙන්දාට වෙළෙඳාමත් නොවරදියි’ යන පිරුළ සැබෑ කරමින් කුණාටුවෙන්, අතරමං වූ මෙම වෙළෙන්දාටත් ගාලු තොටේ වෙළෙඳාම හිතට ඇල්ලුවේය. පසු කාලයකදී ඔහු ගාලු නගරයේම පදිංචි වූයේය. ඒ ලංකාවේ පදිංචි වූ ප්‍රථම බෝරා ජාතිකයා වශයෙනි.

ජැෆර්ජි ඊසාජිගේ මව්බිම වූ ගුජරාටය ඒ කාලයේ නියඟයකින් පීඩා විඳිමින් තිබිණි. එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ සැප පහසු දේශගුණ තත්ත්වයත්, වෙළෙඳාමෙන් ලැබිය හැකි ලාභ පිළිබඳවත් ගුජරාටයේ තම නෑදෑ හිතවතුන්ට දැන්වීය. මේ ආරංචියෙන් නියඟයෙන් බැටකමින් සිටි ගුජරාටයේ ජාම්නගර්, මෝර්බි, භාන්නගර්, සුරත් සහ බගන්රා වැනි ප්‍රදේශවල සිටි බෝරා ජාතික පවුල් ගණනාවක් ගාල්ලට පැමිණ පදිංචි වී වෙළෙඳාම් කටයුතු ඇරඹූහ. ජැෆර්ජි ඊසාජිගේ පුත්‍රයා පසුකලෙක ලංකාවේ ප්‍රථම බෝරා පල්ලියද ගාල්ලේ ඉදි කළේය.

ගාල්ලේ වාණිජ කටයුතුවල යෙදුණු ‘බෝරා’වරුන්ට ව්‍යාපාර කිරීමට ගාල්ලටත් වඩා සුදුසු වන්නේ කොළඹ බව අවබෝධ කර ගැනීමට වැඩි කලක් ගත නොවීය. එබැවින් 1850 වෙද්දී ඔවුහු ගාල්ල හැරදා කොළඹ පිටකොටුවට සංක්‍රමණය වූහ. පිටකොටුවේ කෙයිසර් වීදිය, පළමුවන හා හතර වන හරස් වීදිය වැනි ස්ථානවල දෙමහල් ගොඩනැගිලි ඉදි කර ගත් ඔවුහු ඉහළ මාලය නිවස ලෙස පාවිච්චි කරමින් පහත මාලයේ ව්‍යාපාර කළහ. වර්ෂ 1910දී පිටකොටුවේ හතරවන හරස් වීදියේ ලංකාවේ දෙවන බෝරා පල්ලිය ඉදිකෙරිණි.

විසිවන සියවස ආරම්භයත් සමග බෝරා ජාතිකයෝ ලංකාවේ වෙනත් ප්‍රදේශවලට ද සංක්‍රමණය වූහ. ඉස්මයිල් අමීර් නම් බෝරා ජාතිකයා යාපනයේ ව්‍යාපාර ඇරඹීය. ඉන්පසු 1960දී එහි ලංකාවේ තුන්වන බෝරා පල්ලිය ඉදි කෙරිණි. වර්ෂ 1928දී වලිබායි හසනලි නම් බෝරා ජාතිකයා මහනුවර ව්‍යාපාර ව්‍යාපාර කටයුතු ඇරඹීය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ වාසය කරන බෝරාවරුන්ගේ ජනගහනය 2400ක් පමණ වේ. ඔවුන්ගෙන් බහුතරය කොළඹ කේන්ද්‍ර කොට ගෙන ජීවත් වන අතර බදුල්ලේ පවුල් 4ක් සහ යාපනය, ගාල්ල, බණ්ඩාරවෙල යන නගරවල එක් පවුල බැගින් ජීවත් වෙති. ගාල්ල, කොළඹ සහ යාපනයේ තිබෙන බෝරා පල්ලි තුන හැරුණු කොට මෑතකදී බම්බලපිටියේ මොරොක්කෝ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අනුව පල්ලියක් ඉදිකර තිබේ.

මේ සියලු බෝරාවරුන් ප්‍රධාන වශයෙන් කරන්නේ වෙළෙඳාමය. ශ්‍රී ලංකා ජනගහනයෙන් ලිලිපුට්ටෙක් වන ඔවුන් සතු වෙළෙඳ ව්‍යාපාර ශ්‍රී ලංකා ආර්ථිකයේ ගලිවරයෙක් බඳුය. ඉතා සාර්ථක දැවැන්ත වෙළෙඳ ව්‍යාපාර පවත්වන ඔවුහු වැඩි වශයෙන් තේ, රබර්, සහ කුළු බඩු ආදිය අපනයනයෙත්, කඩදාසි, රෙදි, ප්ලාස්ටික් හා වෙනත් ද්‍රව්‍ය ආනයනයේත් යෙදෙති. අක්බාර් බ්‍රදර්ස්, ආදම් ජී. ලුක්මාන්ජි, ජැෆර්ජි බ්‍රදර්ස්, ඊජි ආදමලී, ටී.ඒ.ජේ. නූර්බායි, හෙබ්තුල්ලා බායි සහ හේමාස් ව්‍යාපාර සමූහය ආදීන් ශ්‍රී ලංකාවේ බෝරා ජාතික වෙළෙඳ සිටුවරුය.

19 වන ශත වර්ෂයේදී බෝරා වෙළෙඳුන්ට අයත් බත්තල් ලංකාවේ ආනයන හා අපනයන කටයුතුවල ක්‍රියාශීලීව නිරත විය. මාලදිවයිනෙන් උම්බලකඩ, බුරුමයෙන් සහල් වැනි ද්‍රව්‍ය ආනයනය කෙරුණු අතර ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන හා කුළුබඩු වැනි ද්‍රව්‍ය අපනයනය කෙරුණේය.

හසන් අලි ඩාවුඩ්බෝයි (Hassenally Dawoodbhoy) නම් බෝරා වෙළෙන්දා යුරෝපය හා ජපානය වැනි රටවල නිෂ්පාදිත භාණ්ඩ ලංකාවට ගෙන්වීමේ ප්‍රමුඛයෙක් විය.

ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීමේ ව්‍යාපාරයට අවතීර්ණ වූ ප්‍රථම යුරෝපීය නොවන වෙළෙන්දා ද බෝරා ජාතිකයෙකි. ඔහු වර්ෂ 1864දී පමණ ශ්‍රී ලංකාවට පැමිණි ෂෙයික් හෙබතුල්ලා බෝයි (Shaikh Hebtulla bhoy)ය.

කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටා තිබෙන කොළඹ මහ නගර සභාව පාලනය කරන ආදම් ජී. ලුක්මාන්ජි මාතෘ නිවාසය ධනවත් බෝරා ජාතික පවුලක් වන ලුක්මාන්ජිවරුන්ගේ පරිත්‍යාගයකි. ලුක්මාන්ජිවරුන්ගේ සමෘද්ධිමත් භාවය තේරුම් ගත හැකි හොඳම උදාහරණය කොළඹ විශ්වවිද්‍යාලය අසල පිහිටා තිබෙන සායිෆි වීලා (Saifee Villa) නම් මහා මන්දිරයයි.

බෝරාවරුන්ගේ නිජබිම හැටියට සැලකෙන්නේ ඉන්දියාවේ ගුජරාටයයි. මුළු ලෝකයේම සිටින බෝරා ජනගහනය මිලියනයක් තරම් සුළු ප්‍රමාණයකි. එයින්ද බහුතරය ඉන්දියාවේ හා පාකිස්තානයේ වෙසෙති. ඔවුන් ජනගහනයෙන් කුඩා වුවද ලෝක වෙළෙඳාමේ සෑහෙන ප්‍රමාණයකට වගකියන ධනවතුන්ය.

බෝරා යන වචනයෙහි අර්ථයද වෙළෙඳාම යන්නය. මෙය ගුජරාටි භාෂාවේ වෙළෙඳාම් කිරීම යන අරුත් දෙන ‘වොහොරා’ යන්නෙන් බිඳී පැමිණි වචනයකි. අතීත ඉන්දියාවේ වෙළෙඳාමේ ආධිපත්‍යය පැවැති වෛශ්‍යයන්ට අයත් බෝරාවරු මුලදී හින්දු භක්තිකයෝ වූහ. පසු කාලයේ යේමනයෙන් හා ඊජිප්තුවෙන් පැමිණි ෂියා මුස්ලිම් නිකායක පූජකවරු මාර්ගයෙන් ඉස්ලාම් ධර්මය වැලඳ ගත්හ.

බෝරාවරුන් අයත් ෂියා මුස්ලිම් නිකායෙන් ඔවුනට උගන්වන්නේ සියලු දෙනා වෙළෙඳ ව්‍යාපාරයෙහි ම යෙදිය යුතු බවය. වෙනත් කෙනෙකු යටතේ වෘත්තියක යෙදීම ආගමෙන් ම ප්‍රතික්ෂේප කරයි. එසේ ම ව්‍යාපාරයන්ගේ ධනය ඉපැයිය යුතු බව ද පවසයි.

ඔවුන්ගේ ධර්මයෙන් ව්‍යාපාරය ම කළ යුතුය යන්න සිය අනුගාමිකයන්ට උගන්වන්නේ ද ආගමික හේතූන් මත ය. වෙනත් ස්වාමියකුගේ යටතේ රැකියාවක් කිරීමේ දී අල්ලා දෙවියන් වෙනුවෙන් කැප වී සිටීමට බාධා ඇතිවිය හැකි බව ඔවුන්ගේ අදහසය. තමන්ගේ ම ව්‍යාපාරයක් කිරීමේ දී කිසිවකුගේ බාධාවකින් අවහිරයකින් තොරව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප වී සිටිය හැකි බව ඔවුහු විශ්වාස කරති.

ඔවුන්ට ආගමෙන්ම වැඩි වශයෙන් ධනය ඉපදවිය යුතු බව පවසන්නේ ආගමික කටයුතු පහසු කර ගැනීමටය. උදාහරණයක් ලෙස බෝරා ජාතිකයකුට සිය ව්‍යාපාරික ස්ථානයේ සිට පල්ලියට පයින් යන්නට පැයක් ගත වන්නේ නම් ඔහු මුදල් උපයා මිලදී ගන්නා පා පැදියකින් පැය භාගයකින් යා හැකි වෙයි. තවත් ධනය උපයාගෙන මිලදී ගත් කාරයකින් යන්නේ නම් ඔහුට විනාඩි දහයකින් පල්ලියට යා හැකි වෙයි. තවත් ධනය උපයාගෙන මිලදී ගත් කාරයකින් යන්නේ නම් ඔහුට විනාඩි දහයකින් පල්ලියට යා හැකි වෙයි. එවිට ආගමික කටයුතු සේ ම ව්‍යාපාරික කටයුතු ද පහසුවෙන් කරගත හැකිවනු ඇත.

ව්‍යාපාරයම ජීවන වෘත්තිය කරගත යුතු බව ආගමෙන් පැවසුව ද මුදල් පොලියට ගෙන ව්‍යාපාර කිරීම ආගමෙන් තහනම්ය. ණයට මුදල් ගෙන ව්‍යාපාරයක යෙදෙන විට ඒ ගැන නිතරම සිහියේ තබා ගන්නට සිදුවීමෙන් අල්ලා දෙවියන් වෙනුවෙන් ඇති කැපවීම හා භක්තියට බාධා ඇති විය හැකි බව ඔවුහු විශ්වාස කරති.

බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා මහා ස්වාමීන් වහන්සේ යන අරුත ඇති ‘සෙයියද්දා’ නමින් හැඳින්වෙයි. වර්තමාන ‘සෙයියද්නා’ වන්නේ ආචාර්ය මොහොමද් බූර්හානුද්දීන්ය. ඔහු බොම්බායේ වාසය කරමින් ලෝකයේ සියලුම රටවල බෝරා ජාතිකයන්ගේ ආගමික හා සාමාජීය අවශ්‍යතා ඉටුකරමින් සිටියි. ඔහු 52 වැනි සෙයියද්නාය. බෝරා ජාතිකයන් ඔහුට ගෞරව කිරීම සඳහා තමන්ගේ කටයුතුවල දී 52 අංකයට විශේෂ තැනක් දීම සිරිතය. නිදසුනක් ලෙස කාට හෝ රුපියල් 1,052ක් දීම සිරිතය. බෝරාවරුන් ඔහුව මෝලනා යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරති.

නබිනායකතුමාගේ ජන්ම දිනය සහ සෙයියද්නාගේ ජන්ම දිනය අතර දින 40ක කාලය තුළ විවිධ ආගමික මෙහෙයයන් හා උත්සව පැවැත්වීම ද බෝරාවරුන්ගේ සිරිතකි. ඒ තම ජීවමාන ආගමික නායකයාට සෙත් පැතීමටය. මේ කාලය තුළ සියලු බෝරාවරුන් එක්ව එක් දිනයක දී ශුද්ධ වූ කුරාණය එක් දිනකින් කියවා අවසන් කර සෙයියද්නාට සුබ පැතීම විශේෂ අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ බෝරාවරුන්ගේ ආගමික කටයුතු මෙහෙය වන්නේ බොම්බායේ සිටින සෙයියද්නාගේ නියෝජිතයෙකි. වර්තමානයේ ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ මික්ඩාඩ් බායි සාහිබ්ය. ඇමෙරිකන් පුරවැසිකම හිමි බෝරා ජාතිකයකු වන ඔහු වසර තුන හතරක කාලයක ආගමික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

බෝරුවරුන් අයත් මුස්ලිම් ආගමික නිකායේ සුවිශේෂී ම ලක්ෂණය වන්නේ කාන්තාවන්ට ද පල්ලියට ගොස් ආගමික කටයුතුවල යෙදිය හැකි වීමය. කාන්තාවන්ට පල්ලි යා හැකි බවට පිළිගත් එකම මුස්ලිම් නිකාය මෙයය. (ඉතා සුළු සාමාජික පිරිසක් සිටින කාදියාන් හෙවත් අහමදියා නම් මුස්ලිම්වරුන්ගේ පල්ලිවලට ද කාන්තාවන්ට පැමිණිය හැකි නමුත් බහුතර මුස්ලිම්වරුන් අහමදියා නිකාය පිළිගන්නේ නැත.) ඔවුන්ගේ පල්ලිවල දෙවියන්ට යාච්ඤා කරන ස්ථානයේ පහළ මාලය පිරිමින්ට වෙන්කර තිබෙන අතර ඉහළ මාලය කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබේ.

සෙසු මුස්ලිම්වරුන් සේ ම බෝරාවරුන් ද හිසේ තොප්පියක් පලඳිති. එය අනිවාර්යෙන් ම සුදු පැහැ අතින් ගෙතූ එකක් වන අතර රන් නූලෙන් වැඩ දමා තිබීම විශේෂිතය. ‘ටෝපි’ නමින් හැඳින්වෙන මෙම රන් නූලෙන් වැඩ දමා අතින් ගෙතූ තොප්පියෙන් ඔවුන්ගේ ධනවත්කම සහ වෙළෙඳාමේ නියුතු බව පිළිබිඹු කරයි. විශේෂ උත්සව අවස්ථාවලදී බෝරුවරු රන් ආලේපිත තලප්පාවක් පලඳිති. ‘සුදු’ වර්ණය ශුද්ධ වර්ණයක් ලෙස සලකන ඔවුහු දරුවෙක් ඉපදුණු පසු සුදු රෙදි කඩකින් ආවරණය කිරීම සිරිතය. ‘කෝමිලිබාස්’ යනුවෙන් හැඳින්වෙන පිරිමින්ගේ ජාතික ඇඳුම ද සුදු වර්ණයෙන් ම සකසා ගනියි. පුද්ගලයකු මිය ගිය පසු අවසන් කටයුතු සිදු කරන්නේ ද මෘත ශරීරය සුදු පිළියකින් ඔතාය. එබැවින් බෝරා ජාතිකයන් ‘‘සුදු ඇඳගෙන ඉපදිලා, සුදු ඇඳගෙන ජීවත් වෙලා සුදු ඇඳගෙන ම මිය යනවා’’ යැයි කියති. බෝරා කාන්තාවන්ගේ ඇඳුම් හැඳින්වෙන්නේ ‘රීදා’ යනුවෙනි.

මිලියනයක් තරම් වන බෝරා ලෝක ජනගහනය ලෝකයේ සෑම රටකම සුළු ජන කොට්ඨාසයක් ලෙස ජීවත් වෙති. මේ නිසා සෑම බෝරා ජාතිකයෙකු ම ඔවුන්ගේ ප්‍රධාන භාෂාව වන ගුජරාති භාෂාවට අමතරව ඒ ඒ රටවල භාවිත වන තවත් භාෂා කිහිපයක් දැන සිටීම විශේෂ කාරණයකි. සෑම බෝරා ජාතිකයකුම අවම වශයෙන් භාෂා තුනක්වත් දැන සිටින බව පැවසේ.

සෑම රටකම සුළු ජන කොටසක් ලෙස ජීවත්වන බෝරාවරු දේශපාලනය කෙරෙහි උනන්දු නොවෙති. එහෙත් සිය වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඒ ඒ රටවල ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වති.

ආචාර්ය මොහොමද් බුර්හානුද්දීන් සෙයියද්නා යටතේ ඉතා සංචිත ජනවර්ගයක් වන බෝරාවරු අධ්‍යාපන කටයුතු පිළිබඳ දැඩි උනන්දුවක් දක්වති. ඒ නිසා ඔවුන් ලෝකයේ ඉහළම සාක්ෂරතා මට්ටමක් සහිත ජනවර්ගයක් ලෙස සැලකේ. වරක් ඉන්දියාවේ සාක්ෂරතා මට්ටම සියයට 40ක්ව පැවැති අවස්ථාවේ එහි වෙසෙන බෝරා ජාතිකයන්ගේ සාක්ෂරතා මට්ටම සියයට සියක්ම වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනික දියුණුව සහ සංවිධිත බව පැහැදිලි වේ. ඔවුන්ගේ දියුණුවට ප්‍රධානම හේතුව වන්නේ මත්පැන් හා දුම්පානයෙන් තොර දැඩි ආගමික විනයකින් යුක්ත ජීවන පසුබිමය.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස