වෛද්‍ය ෂාෆි සම්බන්ධ පරීක්ෂණවලට ඇමති රාජිත බලපෑම් කළොත් වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගවලට යනවා! – වෘත්තීය සමිති 09 අනතුරු අඟවයි..

May 28, 2019 at 10:27 am | by admin

චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පවත්වන සියලුම පරීක්ෂණ දේශපාලන අතපෙවීම් තොරව සාධාරණව පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අද (27) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලද මේ මාධ්‍ය සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ විකිරණවේදීන්ගේ සංගමය, ගිලන්රථ රියදුරන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුවසේවා සංගමය, සමස්ත ලංකා සුව සේවක සංගමය යන වෘත්තීය සංගම් වල ප්‍රධාන ක්‍රියාකාරීහු සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් යුක්තව සිදුවිය යුතු බවයි.

එසේ නොවී ඊට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීම් සේම කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියට බලපෑම් එල්ල කිරීම් කළහොත් ඊට එරෙහිව දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා අවධාරණය කළේය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික උපාලි හේරත් මහතා ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලට එල්ලවී ඇති අපහාසාත්මක තත්ත්වය යථා තත්ත්වයට පත්කළ හැක්කේ සාධාරණ පරීක්ෂණයකින් පමණක් බවයි. එම පරීක්ෂණ සාධාරණව සිදු නොවුනොත් සියලුම වෘත්තීය සමිති ඊට එරෙහිව නැඟී සිටින බවද හේරත් මහතා පැවසීය .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස