වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනාව මත පියාණන්ට පිං පිණිස චෛත්‍ය 1125ක් ඉදිකරන්න දිවි හිමියෙන් කැපවෙනවා! – ඇමති සජිත්

June 10, 2019 at 9:25 am | by emanisa.lk

ඉදිරි වසර තුන හතර තුළ දිවයින පුරා චෛත්‍යරාජයාණන් වහන්සේ නොමැති විහාරස්ථානවලට චෛත්‍ය රාජයාණන් වහන්සේ එක් දහස් එකසිය විසි පහක් ඉදිකර සසුනට පූජා කිරීමේ කාර්යය තමා දිවි හිමියෙන්ම ඉටුකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිහිවීම පිණිස පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගේ අනුග‍්‍රහයෙන් අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර 4 ඇළ පිහිටි ශ‍්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයේදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ මගේ දිවංගත පියාණන් සිහි කිරීම සඳහා අප ආරම්භ කළ චෛත්‍යරාජයාණන් වහන්සේ විසි පහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිම කළ ප‍්‍රථම චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පූජා කරන අවස්ථාව. මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පෞද්ගලික දානපතියන්ගේ උපකාර මත ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ උප සභාපතිතුමාගේ මෙහෙයවීමෙන් සහ එම අධිකාරියේ සහෝදර නිලධාරි මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් රුපියල් විසි පන් ලක්ෂයක මුදලක් කැපකර අද දවසේ සසුනට පූජා කිරීමට කටයුතු කළා.”

“සෑම දිස්ත‍්‍රික්කයකින්ම චෛත්‍යරාජයාණන් වහන්සේ නොමැති විහාරස්ථාන හතළිහ බැගින් තෝරා ගෙන රජයේ අරමුදල් වලින් තොරව පෞද්ගලික දානපතියන්ගේ ආධාර ඇතිව දිස්ත‍්‍රික්ක විසි පහේම චෛත්‍ය හතළිහ බැගින් චෛත්‍ය දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුන්වැනි පියවර යටතේ ආරම්භ කිරීමට. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා මත ඉදිරි වසර තුන හතර ඇතුළත චෛත්‍යරාජයාණන් වහන්සේලා එක් දහස් එකසිය විසි පහම ඉදිකර දිවංගත මාගේ පියාණන්ට පිං පිණිස සසුනට පූජා කිරීමේ කාර්යය මා දිවි හිමියෙන්ම ඉටුකරන බව මා ප‍්‍රකාශ කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස