රටම ලේ විලක් වෙද්දි ජනාධිපති සිංගප්පූරු ඉඳන් ආවේ 4 වෙනි යානයේ! රටේ ආරක්ෂාව ගැන සාකච්ඡාවට අගමැති මට එන්න කීවේ පැය 48කට පස්සේ! මේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව භාර අයට වඩා ඒ ගැන ජූලම්පිටියේ අමරේට දැනුමක් තියෙනවා! – සරත් ෆොන්සේකා

April 25, 2019 at 9:28 am | by admin

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වගකීමෙන් යුක්තව කටයුතු කළේ දැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදයට එක්වෙමින් විමසීය.

මරාගෙන මැරෙන ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු වාර්තා වූ මොහොතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිටියේ සිංගප්පූරුවේ බවත් එය දැනගත් වහාම ශ‍්‍රී ලංකාවට නොපැමිණි ජනාධිපතිවරයා සිදු කළේ ශෝක ප‍්‍රකාශයක් වැනි නිවේදනයක් නිකුත් කිරීමක් බවත්
එදින සවස 3.00 ට, 5.00 ට සහ රාත‍්‍රි 9.00 ට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා තිබුණත් ජනාධිපතිවරයා පැමිණියේ රාත‍්‍රි 12.00 ගුවන් යානයේ බවත් හෙතෙම සඳහන් හෙළි කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමා මාස 06 ක කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා නැති බව පැවසූ බව කියා සිටි සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවේ නායකයා ලෙස රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තීන්දු ගනු ලබන ආරක්ෂක මණ්ඩලයට මෙතරම් කාලයක් සහභාගි වීමට නොලැබීම සම්බන්ධව අග‍්‍රාමාත්‍යවරයා මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවට හෝ දැනුම් නොදී මෙම ප‍්‍රහාරයෙන් පසු ඒ ගැන පැවසුවේ සිය වගකීමෙන් නිදහස් වීමට යැයි කියා තමා සිතන බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

රටේ ආරක්ෂාව පිළිබඳ වර්තමාන ආණ්ඩුවේ සිටින වඩාත් අත්දැකීම් සහිත පුද්ගලයා වන තමාට ඒ පිළිබඳ සාකච්ඡාවක් සඳහා අගමැතිවරයා ආරාධනා කළේ මෙම ප්‍රහාරය සිදු වී පැය 48කට පසු බව ද පැවසූ හිටපු හමුදාපතිවරයා මේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව භාරව කටයුතු කළ පුද්ගලයන්ට වඩා ඒ පිළිබඳ අවබෝධයක් ජූලම්පිටියේ අමරේට ඇතැයි ද පැවසීය.

තම ආරක්‍ෂාව සඳහා තවමත් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනා පමණක් යැයි කී ෆොන්සේකා මහතා තම ආරක්‍ෂාව සඳහා යොදා ගැනෙන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් ජීප් රථයක් බවද කීවේය. එම ජීප් රථයද වරින්වර මඟ හිටින බව පැවැසුවේය.

නාමල් කුමාරගේ ලබා දුන් ඔත්තුව සහ මාකඳුරේ මධුෂ්ට දැක්වූ උනන්දුවවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කල්තියා කළ දැනුම් දීමට නොදැක්වූ බවද ඒ මහතා සඳහන් කළේය.

අගමැති, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රටේ ආරක්‍ෂක කවුන්සිලයට නොයන්නේ කිනම් රටේ දැයි ෆොන්සේකා මහතා ප‍්‍රශ්න කළේය.

ආරක්‍ෂක ලේකම් ධූරය වැනි තනතුරුවලට පත් කළ යුත්තේ ආරක්‍ෂක විද්‍යාලයකට ගොස් දැනුම ලබාගත් අයකු බව කී සරත් ෆොන්සේකා මහතා තමන් ෆීල්ඞ් මාර්ෂල් තනතුර දක්වා උසස්වීම් ලැබුවේ ගාලුමුවදොර කඩල විකිණූ නිසා නොවේ යැයිද කීය.

ආරක්‍ෂාව පිළිබඳ තමන්ට වඩා දැනුම ඇති අයෙක් පාර්ලිමේන්තුවේ තවත් නැතැයි කී සරත් ෆොන්සේකා මහතා එසේ සිටින්නේ නම් ඔහුට තම ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලබා දෙන බව ද පැවසීය. තමාගෙන් ආණ්ඩුව ප‍්‍රයෝජනයක් ගෙන නැතැයිද යුද්ධය අවසන් වූ පසුව බුද්ධි අංශය පුළුල් කරන ලෙස තමන් කළ ඉල්ලීම අනුව කටයුතු නොකළ බවද ඔහු කීවේය.

ආරක්‍ෂක කවුන්සිලයට අගමැතිවරයාට කැඳවීමක් නොකළා නම් ඒ පිළිබඳ එම අවස්ථාවේදී රටටත්, පාර්ලිමේන්තුවටත් හෙළි කළ යුතුව තිබූ බව කී සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාටද ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමට ආරාධනා නොකළා නම් අඩුම තරමේ ඔහුට එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නට තිබූ බව කීවේය.

ආරක්‍ෂක කවුන්සිල රැස්වීමට පසුගිය කාලයේ සහභාගි කරවා ගත්තේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු බව කී ෆොන්සේකා මහතා කිසිදු රටක ආරක්‍ෂක කවුන්සිලයට විපක්‍ෂය සහභාගි කරවා ගන්නේ නැතැයිද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස