යෝජිත පනත ආවොත් රාජ්‍ය විශ්වවිද්‍යාල ඉවරයි! අලුත් කොමිසම ආවොත් පද්ධතියම දේශපාලනීකරණය වෙනවා! – FUTA

July 30, 2019 at 6:05 pm | by emanisa.lk

උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මක බව සහ තත්ත්ව ආරක්ෂණය අවශ්‍ය බව පවසමින් ආණ්ඩුව ගැසට් කර තිබෙන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බරපතළ හානියක් සිදුවන අද (30) පැවැසීය.

රජය උසස් අධ්‍යාපන තත්ත්ව ආරක්ෂණ සහ ප්‍රතීතන යනුවෙන් මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇතැයි ද එය නීතියක් බවට පත්වුවහොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නොවැදගත් ආයතනයක් බවට පත්වන බව ද ආචාර්ය දිලීප විතාරණ කීවේය.

උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්ව පාලනය සහ ඒවා සහතික කිරීම සඳහා වෙනමම කොමිෂන් සභාව පත් කිරීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇතැයි ද එම කොමිසම අතිශය දේශපාලනීකරණය වූවක් බවත් හෙතෙම කීය.

වර්තමානයේදී තත්ත්ව පාලනය සහ සහතික කිරීම සිදු කෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් බවත් ඔහු කීවේය. එය සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති යන රාජ්‍ය නිලධාරීන් සිවුදෙනා පත්වන බවත් ඊට අමතරව තවත් නව දෙනකු පත්වන බවත් ඔහු කීවේය. ඔවුන් නවදෙනා පත්වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරන 15 දෙනකුගෙන් යැයි ද ඔහු කීවේය.

අදාළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය දිලීප විතාරණ එම අදහස් පළ කළේය.

ශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු, ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි, හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් සහ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස